හිටපු ජනපතිගේ මස්සිනා වන නිශාන්ත වික්‍රමසිංහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති ධූරය දරන සමයේ තමන්ගේ හිතු මනාපයට සිංගප්පූරුවේ සිට යානයක් හැරවූ බව ප්‍රකට කථාවකි. ඊයේ  දූෂණ කමිටුවෙන් අනාවරණය වූයේ ඒකාලයේ ඔහු ලබාදුන් තවත් විකාර නියෝගයකි. ශ්‍රීලන්කන් ගුවන් කළමනාකරුවන්ගේ තීරණය වෙනස් කරමින් ප්‍රංශය බලා පිටත්වීමට නියමිතව තිබූ ගුවන් යානයක් සම්බන්ධයෙන් දුන් නියෝගයක්
නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට රුපියල් කෝටියකට අධික පාඩුවක් දැරීමට සිදුවූ බවයි.
ඒ කවුරුත් නොදන්නා විශේෂ පිරිසක් ඔහුට ප්‍රංශයට පිටත්කිරීමට අවශ්‍යවී යානයේ සිටි මගීන් බස්සවා ඔහුගේ පිරිස එහි ඇතුළු කර ගුවන්ගතකරවූ අසාමාන්‍ය සිද්ධියකි. මෙවැනි කටයුතු ලෝකයේ කිසිදු ගුවන් සමාගමක සභාපතිවරයෙකු විසින් සිදු කර ඇතැයි වාර්තා නොවූ බවද කොමිසම දන්වා ඇත.

 ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ආයතනවල දූෂණ සෙවීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති පරීකෂණ
කොමිසම හමුවේ ඊයේ (15දා) හෙළි වූ පරිදි මේ හේතුවෙන් ගුවන් මගීන් 128 දෙනෙකුට

සිය ගමනාන්ත වැරදුණු බවත්, ඉන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට විදීමට සිදු වූ පාඩුවට වඩා, එහි කීර්තිනාමයට අති විශාල කැළලක් සිදු වූ බවත් පළවිය.
අතිරේක සොලිසිටර් ජනරාල් නීල් උනමිබුව මහතාගේ මෙහෙයවීම යටතේ කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් මෙහෙයුම් කළමනාකරුවන් වන ධමිමික සේනානායක සහ හඳපාන්ගොඩ මහත්වරු මෙසේ කියා ඇත.
"2014 ජනවාරි මස 25 වැනිදා උදෑසන සිට 26 වැනිදා උදෑසන දක්වා කටුනායක ගුවන්තොටුපළේ ගුවන් මෙහෙයුම් කළමනාකාරවරයා ලෙස මා කටයුතු කළා. එදින අපේ ගුවන් යානා දෙකක් කාර්මික දෝෂවලට ලක් වී තිබුණා. මේ නිසා කොළඹ සිට ප්‍රංශයේ අගනුවරට යන ගුවන් යානය නියමිත වේලාවට යවන්නත් කොළඹ සිට ප්‍රංශයට යන ගුවන් යානය ප්‍රමාද කිරීමටත් අපි තීරණය කොට තිබුණා. එසේ කිරීමෙන් සමාගමට කිසිදු පාඩුවක් සිදු නොවන ආකාරයට එය කළමනාකරණය කර ගැනීමට අපට හැකියාව තිබුණා.

එසේ තිබියදී 26 වැනිදා උදෑසන ශ්‍රී ලංකන් ගුවන් සමාගම් සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා මට දුරකථනයෙන් කතාකොට කොළඹ සිට ප්‍රංශයට යන ගුවන් යානය කිසිදු ප්‍රමාදයකින් තොරව යවන
ලෙස මට දැනුම් දුන්නා. එම ගුවන් යානයේ විශේෂ දූත කණ්ඩායමක් යට සිටින බව ඔහු මට කීවා.

කොමිසම - එම විශේෂ දූත කණ්ඩායම කවුද කියා ඔබ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාගෙන් වීමසුවද?

පිළතුර - නැහැ. මා එහෙම විමසුවා නම් ඔහුට තරහා යෑමට හැකියි.


කොමිසම - මෙම ගුවන් ගමන් ප්‍රමාදය පිළිබඳ ඔබ කිසිවෙකුට හෝ ඊමේල් පණිවුඩ මගින් දැනුම් දුන්නාද?

පිළිතුර - ඔව්. මා ඒ පිළිබඳ ඉහළ නිලධාරීන්ට මෙන්ම ගුවන් යානා කාර්යමණ්ඩලයටත් දැනුම් දුන්නා.

කොමිසම - එම රීමේල් පණිවුඩය සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාටත් යව්වද?

පිළිතුර - ඔව්. එසේ තිබියදී තමයි නිශාන්ත වික්‍රමසිංහ මහතා මට දුරකථනයෙන් කතාකොට කොළඹ සිට ප්‍රංශයට යන ගුවන් යානය කිසිදු ප්‍රමාදයකින් තොරව යවන ලෙස කීවේ.

එම ගුවන් යානයේ විශේෂ දූත කණ්ඩායමක් යෑමට සිටින බවත් දැනුම් දීම නිසා අපි සභාපතිතුමාගේ නියෝගය අනුව එම් ගුවන් යානය නිසි වේලාවට යැව්වා,
එමනිසා එම ගුවන් යානයට පැමිණීමට නියමිතව සිටි පිරීස්වලට හා ප්‍රංශයේ ගුවන් තොටුපළවලින් යෑමට සිටි පිරිස් ඔවුන්ගේ ගමනාන්තවලට යැවීම සඳහා වෙනත් ගුවන් සමාගම්වලට මුදල් ගෙවා ගුවන් ටිකට් පත් මිලදී ගැනීමට සිදු වීම නිසා විශාල වියදම් දැරීමට සිදුවුණා. මේ සිදුවිම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඇමෙරිකානු ඩොලර් 90,260ක (රුපියල් එක්කෝටි දාහත් ලක්‍ෂයකට අධික මුදලක්) පාඩුවක් සිදුවුණා.

 කොමිසම් සභාපතිවරයා වශයෙන් අනිල් ගුණරත්න මහතා (විශ්‍රාමීක ශ්‍රේෂ්ඨාධිකර විනිසුරු) කටයුතු කරන අතර එහි සාමාජික විනිසුරුවරුන් වශයෙන් ගාමිණි අමරසේකර (අභියාචනාධිකරණ විනිසුරු), පියසේන රණසිංහ (විශ්‍රාමික මහාධිකරණ විනිසුරු), ඇස්තනි හැරල්ඩ් ( විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති) යන මහත්වරුන් සහ කපුගම ගීගනගේ (ගිණුම් හා ප්‍රමිති සමික්ෂණ ආයතනයේ අධ්‍යක්‍ෂි ජනරාල්) කටයුතු කරයි.

සටහන - බුද්ධිමාල් රුබේරු