කාන්තාවකට තියුණු ආයුධයකින්  පහරදී පසුගියදා (10දා) අලුයම, ඇයව ඝාතනය කර ඇයගේ 21 හැවිරිදි දියණියටද තුවාල සිදුකර පලාගිය බවට පැවසෙන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පුළුල් විමර්ශන ආරම්භ කර ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කොට්ටාව, සිරීමල්වත්ත, සුහද මාවතේ පදිංවි ශ්‍රියාණි කොඩිකාර (55) නමැති කාන්තාවකි. මෙම සැකකරු මනෝ විද්‍යා කථිකාචාර්යවරයෙකු බවට පැවසෙන  අතර, මෙහිදී තුවාල ලැබූ 21 හැවිරිදි කාන්තාවගේ පපු පෙදෙසට එල්ල වූ පිහි පහරවල් කිහිපයක් හේතුවෙන් ඇය ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික  රෝහලට ඇතුළත් කර ඇති බවත්,ඇයට ශල්‍ය කර්මයක් සිදුකර ඇති අතර, ඇයගේ තත්වය සාමාන්‍ය බවත් පොලීසිය පවසයි.

 21 හැවිරිදි කාන්තාව වයස තුනහමාරක දරුවෙකුගේ මවක වන අතර සිද්ධියෙන් දරුවාට කිසිදු අනතුරක් සිදුව නොමැති

බවද පොලීසිය පවසයි.

පසුගියදා (10දා), අදාළ නිවස දෙසින් කෑ ගැසීමක් ඇසුණු බවත්, ඒ සමග නිවසින් එළියට පැමිණි 21 හැවිරිදි දියණිය අවට නිවෙස්වල සීනු නාද කරමින්, ගේටිට්ටුවලට ගසමින් උදව් ඉල්ලූ බවත් ප්‍රදේශවාසීන් පැවසු බව පොලීසිය පවසයි.  ඒ සමග අසල්වාසීන් නිවස අසලට  පැමිණ 119 පොලිස් හදිසි ඇමතුම් අරකයට හා 1990 සුවසැරිය ගිලන් රථයට සිද්ධිය දැනුම්දී සුවසැරිය ගිලන් රථයෙන් 21 හැවිරිදි දියණිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය කියයි.


සිද්ධිය වන අවස්ථාවේදී තුවාල  ලැබු දියණියගේ අනියම් සැමියා බව පවසන මාලබේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක මනෝ විද්‍යා කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරන සැකකරු නිවසේ සිට ඇති අතර, ඔහු සිද්ධියෙන් පසුව පලාගොස් ඇති බවද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය වූ දින රාත්‍රී මත්පැන් සාදයක් පවත්වන්නට ඇති බවත්, ඉන් පසුව දියණිය සහ සැකකරු අතර ඇති වූ ගැටුමක් සමතයකට පත් කිරීමට යාමේදී සැකකරු මවට තියුණු ආයුධයකින් පහරදී පලා යන්නට ඇති බවත් පොලිසිය සැක කරයි.

පසුව පහරකෑමට ලක් වූ

කාන්තාව අධික ලේ ගැලීමත් සමගම එළියට දිවැවිත් ඇති අතර, අසාධ්‍ය තත්වය හේතුවෙන් ඇය පියගැට පෙළ අසල වැටී මියළිගොස් ඇති බව පොලීසිය පවසයි. පලාගිය සැකකරු මීට මාස 1 1/2 කට පෙර මෙම නිවස රුපියල් 37000  මාසික කුලී මුදලට මාස 06ක් සඳහා ලබාගෙන ඇති අතර, ඒ අනුව සැකකරු මෙම නිවසට නිතර නිතර පැමිණ රාත්‍රිය ගතකර යන බවට
පොලීසියට තොරතුරු ලැබී ඇතැයි පැවසේ.

මියගිය කාන්තාව සහ දියණිය පූගොඩ ප්‍රදේශයේ සිට මෙහි පැමිණ ඇති බවත්, සැකකරු වවුනියාව, කවසිකුලම් ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයකු බවත් පොලීසිය කියයි, සිද්ධිය වූ ස්ථානයට නුගේගොඩ කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණායතනයේ නිලධාරීන් හා අපරාධ වාර්තා කොට්ඨාසයේ ඇඟිලි සලකුණු නිලධාරීන් පැමිණි පරික්ෂණ ආරම්භ කළේය.

මෙම ස්ථානයට පැමිණි හෝමාගම වැඩබලන මහේන්සේත්‍රාත් පද්මසිරි ජයවර්ධන මහතා ස්ථානීය පරීක්ෂණයක් සිදු කොට දේහය කළුබෝවිල රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරීපත් කොට වාර්තාවක් ලබාදෙන ලෙස පොලීසියට නියෝග කළේය.