ඇමරිකාවේ ෆ්ලොරිඩාහි ජැක්සන්විල් ප්‍රදේශයේ අසාමාන්‍ය සමූල ඝාතන සිද්ධියක් ඉරිදා සන්ධ්‍යාභාගයේ වාර්තා විය. GLHF Game Bar නමැති ස්ථානයේ පවත්වන ලද ජනප්‍රිය වීඩියෝ ගේම් තරගයක අවසන් පූර්ව වටයේ තරගාවලියකදී මෙම සිද්ධිය වාර්තාවිය.

ඇමරිකාවේ වාර්ෂිකව පවත්වන  Madden 17 Bills Championship නමැති මෙම
තරගාවලිය අමරිකානු ෆුට්බෝල් ගේම් වීඩියෝ ක්‍රීඩාවක් පදනම් කර පවත්වා තිබූ අතර තරගය පවත්වන අවස්ථාවේම අන්තර්ජාලයේද සජීවීව විකාශය කරමින් තිබුණි. මෙම තරගයට සුදුසුකම් ලබා තිබුනේ මූලික වටවලින් ජයගත් අයයි. මෙදින තරගය අවසන් පූර්ව වටය දක්වා වූ අතර අවසන් තරගය ලබන ඔක්තෝබරයේ ලාස්වේගාස්හි උත්කර්ෂවත්ව පවත්වන්නටත් ජයග්‍රාහකයින්ට මුදලින් වටිනා තෑගි පිරිනමන්නටත් සැලසුම් කර තිබුණි.

ඊයේ තරගයට පැමිණි 2017 වසරේ ශූරයාවූ 24 හැවිරිදි ඩේවිඩ් කැට්ස් තරගාවලිය ඇරඹි තරග කිහිපයකින්ම පරාජයට පත්වූ  අතර ඔහුට අවසන් වටය දක්වා යාමට වරම් හිමිවූයේ නැත. ඉන් පසුව ඔහු තවදුරටත් එම ස්ථානයේ සිටියේ නැති බවත් කලකිරීමෙන් එතැනින් ඉවත්ව ගිය බවත් පැවසුණි.

බැල්ටිමෝර් මේරිලැන්ඩ් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ ඔහු ඊයේ තරගයට පැමිණ තිබුනේ ආසන්න හෝටලයක නැවතී සිටිමින් බව පැවසුණ අතර ඔහු තරග පරාජයෙන් පසු හෝටලයට ගොස් නැවත තරගය පැවති ස්ථානයට පැමිණ ඇත්තේ ආයුධ සන්නද්ධවය.

ඒ වනවිටත් අනෙක් තරග කරුවන් ක්‍රීඩාවේ යෙදෙමින් වෙනත් අවධානයක සිට ඇති අවස්ථාවේ එක්වරම මැදට කඩා වැදුණ කැට්ස් තරගකරුවන් සියල්ලට දිගින්දිගටම වෙඩිතබාගෙන ගිය බව පොලිස් පරීක්ෂණ වලදී එලිදරව් වී ඇත. ඒ අවස්ථාවේ සියලු කටයුතු අවුල්ව ගිය අතර අන්තර්ජාල සජීවී විකාශයද නැවතිණි. ඔහුගෙන් වෙඩි කෑ බොහෝ අය බිම ඇද වැටිණි.

අනෙක් අය මරා දැමූ බවට සෑහිමකට පත් ඩේවිඩ් ඔහුටද වෙඩි තබාගෙන සියදිවිනසාගත්තේය.
ආරක්ෂක අංශ ස්ථානය පරීක්ෂා කර තුවාල කරුවන් රෝහල් වෙත රැගෙන ගිය අතර පසුව වාර්තාවූයේ වෙඩි තැබීම නිසා 11 ක් තුවාල ලබා 3 ක් මියගිය බවයි.

ගියවර තරගාවලිය ජයගත් මෙම තරුණයා මෙවර පරාජය ඉවසාගත නොහැකිව මෙම සමූල ඝාතන සිදුකරන්නට ඇති බවට පොලිසිය විශ්වාස කරයි.