මොරටුව ලක්ෂපතිය ප්‍රදේශයේ එකම වත්තේ තනා ඇති ධනවත් ව්‍යාපාරිකයකුගේ සහ ඔහුගේ පුතුන් දෙදෙනාට අයත් නිවාස තුනක් කඩා සොරාගෙන ගිය ලක්ෂ 15ක් පමණ වටිනා රන් භාණ්ඩ අතුරින් රුපියල් 40,000ක් පමණ වටිනා රන් මාලයක් කොළඹ මෝදර ප්‍රදේශයේ කෝවිලකට ගොස් එහි ඇති කාලි
මෑණියන්ගේ පිළිරුවට පළඳවා බාරයක් ඔප්පු කළ බව කියන සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන අංශය පවසයි.
සොරකම සම්බන්ධයෙන් පොලිසියට කොටුවීමෙන් වළක්වා දෙන මෙන් කාලි මෑණියන්ගෙන් මෙම සැකකරුවන් දෙදෙනා ඉල්ලා ඇති බව පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්  පැවැසීය.
සැකකරුවන් දෙදෙනා විසින් කාලි මෑණියගේ පිළිරුවට පළඳවා ගිය රන් මාලය පසුව දේවාලයේ ආවතේව කරන කාන්තාව (මෑණියෝ) විසින් ගලවා ගෙනගොස් රුපියල් 35,000ක

මුදලකට විකුණා තිබිය දී සොයාගත් බව ද පොලිසිය කියයි. මීට අමතරව එක් නිවෙසක තිබී රැගෙන ගිය කැටයක තිබූ මුදලක් සොරුන් දෙදෙනා විසින් එම කෝවිලේ ඇති පිං පෙටිටියට දමා ඇති බව ද පොලිසිය පැවැසීය. මොරටුව ලක්ෂපතිය ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයෙක‍් සහ ඔහුගේ ව්‍යාපාරික පුතුන් දෙදෙනා ඇතුළු පවුලේ අය පෙබරවාරි මාසයේ 15 වැනිදා නිවාස තුන වසා දමා විනෝද චාරිකාවකට ගිය අවස්ථාවේ එම නිවාස කඩා ඒවායේ තිබූ රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා රන් බඩු සහ ලක්ෂ 16ක පමණ මුදලක් සොරාගෙන ගොස් ඇති බවට පොලිසියට පැමිණිලි කර තිබිණි.
සවිකර තිබූ සීසීටීවී කැමරා පද්ධතිය ද සොරුන් විසින් ගලවාගෙන ගොස් ඇත.
ගල්කිස්ස කොට්ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක රත්නායක සහ පොලිස් සැරයන් නීල් (19073) යන මහත්වරුන් ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මෙම සොරකම් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරන ලද පරික්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන් කාලයක් ධනවත් ව්‍යාපාරිකයා ළග රියැදුරකු ලෙස සේවය කළ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු පෙරේදා (11) මුලින්ම අත්අඩංගුවට ගනු ලැබිය.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් හෙළිකරගත් තොරතුරු මත ඔහුත් සමග සොරකමේ ගිය මහනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අඩංගුවට ගත් බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීයා කීය. සැකකරුවන් දෙදෙනාගෙන් අනාවරණය කරගත් තොරතුරු මත සොරාගෙන ගිය රන් භාණ්ඩ පොලිසිය විසින් සොයාගෙන ඇත. ධනවත් ව්‍යාපාරිකයා ළග කාලයක් සේවය කළ එම රියැදුර සොරාගත් මුදලින් ලක්ෂ 09ක පමණ මුදලක් පුද්ගලයකුට පොලියට ලබා දී තිබිය දී එම මුදල ද පොලිස් භාරයට ගනු ලැබීය.
සොරකම් සිදු කිරීමට යෑමට සැලසුම් කළ අවස්ථාවේම සොරකම් කරන රන් භාණ්ඩවලින් රන් මාලයක් කාලි මෑණියන්ට පූජා කරන බවට සිතාගත් බව සැකකාර රියැදුරා පොලිසියට පවසා ඇති බව කියති.


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ බන්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)