වර්තමාන සමාජයේ අතීතයේ තරම් මිත්‍ය මත විශ්වාස කරමින් කතා කරන අය බොහෝ අඩුය. එහෙත් එවැනි දෑ තදින් විශ්වාස කරන පුද්ගලයන් නැතුවාම නොවේ. මෙම තැනැත්තා මැදිවයසේ පසුවේ. මොහු යම් ගමනක් යන අතරකදී නිවස අසලදී මොහුට හමුවන ඇතැම් අය
දැක ගමන නොගොස් ආපසු පැමිණි අවස්ථාද ඇත. හිස් භාජනයක් රැගෙන හෝ උදලු, පිහි වැනි දා රැගෙන එන තැනැත්තකු හමුවූ සැනින් එය අසුබ ලකුණක් යැයි සිතා ගන්න කල් දමයි. මෙවැනි අන්ධ විශ්වාසයන් කටයුතු කරන කෙනෙකු බව මුළු ගමම  දනී.


මෙම තැනැත්තාගේ නිවස පිහිටියේ වාහන යා හැකි මාර්ගගයකට ආසන්නයේය. මැතක සිට ගෙදර බල්ලකු ඇති කරයි. මෙම සුනඛයාගෙන් බොහෝ විට මාර්ගයේ ගමන් කරන පාපැදි, යතුරුපැදිකරුවන්ට මෙන්ම පයින් ගමන් කරන අයට මහත් හිරිහැර පැමිණේ. ඔවුන් පසුපස හමා එන නිසා ගමන් යන්නට බාධා පැමිණේ. මේගැන සුනඛයාගේ අයිතිකරුව පැවසූ විට ඔහු පවසන්නේ සිය බල්ලා හපන්න්නේ නැහැ.පන්නාගෙන ආවත් බිරුවත් බිය වෙන්න එපා කියායි. එහෙත් පාසල් දරුවන් බල්ලාට බියේ දිවගොස් බිම ඇද වැටුණු අවස්ථාද අපමණය.මේ පිළිබඳව තරුණයන් කිහිපදෙනෙකු යෙදු උපාය නිසා බල්ලාගෙන් සිදුවන කරදරය නිමාවිය.

මොහු හා ළෙන්ගතුව ඇසුරු කරමින් ගුරුහරුකම් ලබා ගන්නා අයකු සිටී. ඔහු යමක් කිවොත් එය අකුරටම පිළිපදින්නේය. ඉහත තරුණයන් දෙදෙනා මොහු හමුවී මේ බල්ලාගේ කරදරයට පිළියමක් හදන්නැයි කිවේය. ගුරුන්නාන්සේ යැයි හඳුන්වෙන මෙම තැනැත්තා කියා සිටියේ "මගේ පාරෙත් ඔය බලුකුක්කා පන්නාගෙන ආවා. හොඳයි මම කියලා බලන්නම්" යයි කියා කොන්ත්‍රාත්තුව භාර ගත්තේය. දිනක් ගුරුන්නාන්සේ බලා සිටීන නිවෙසට ගියේය. එවිට ඉහත කී බල්ලා බුරමින් ඉදිරියට ආවත් ගෙහිමියා ඔහු අල්ලා ඉවත් කළේය.

ගුරුන්නාන්සේ ටික වේලාවක්

මොහු සමග කතාබහ කරමින් සිට" මේ දවස්වල කොහොමද ජිවිතේ යැයි විමසිය. "අනේ" ගුරුන්නාන්සේ ටිකක් කරදරයි. ළමයි දෙන්නත් ලෙඩ වෙලා. සුළඟට ගහක් කඩාවැලා කුස්සියේ වහල්ලටත් හානි වුණා. ගම්මිරිස් ගණන් බැහැලා. අතමිටත් ටිකක් හිගයි." ගුරුන්නාන්සේට ගණ දෙවි නුවණ පහළ විය. "ඔය බල්ලා ඇති කරන්න පටන් ගත්තට පස්සේ කරදර වැඩියි නේද? මොහු හිස සලා එය අනුමත කරත්ම ගුරුන්නාන්සේ ගෙමිදුලේ නිදා සිටි බල්ලා අසලට ගොස් ආපසු නිවෙස තුළට ඇවිත් ' මේ බල්ලාගේ වලිගේ අග වමට කැරකිලා තියෙනවානේ. ඒක ගෙදරට ඉතාම අපලයි. බල්ලාට හිංසාවක් කරන්න එපා. නමුත් ගෙදර හිටියොත් නම් කරදර තවත් වැඩිවෙයි යනුවෙන් පවසා ගෙදරින් පිටව ගියේය.'

ගෙහිමියා දස අතේ කල්පනා කළේය. වැඩේ ඇත්ත තමයි කියා මේ පුවත බිරියටත් පවසා පසුදින බල්ලා ත්‍රිරෝද රථයකින් ප්‍රදේශයෙන් බොහෝ දුරකට ගෙන ගොස් දමා ගෙදර පැමිණියේය. ගමේ අයට තිබු බලු කරදර නිමා වූයේ එසේය.