පෞද්ගලික බස් රථයට පිටු පසින් පැමිණෙන CTB බස් රථයට පරක්කු වී පැමිණෙන ලෙස මඟ හරස් කර පොලු මුගුරු ගෙන මරණ තර්ජනය කරන ආකාරය සහිත වීඩියෝ දර්ශනයක් CTB බස් රථයේ සිටි මගියකු විඩියෝ ගත කර ඇත. හසලක ඩිපෝවට අයත් රන්දෙණිගල සිට හසලක කොළොන්ගොඩ දක්වා උදෑසන 6 ට දිවෙන පාසල් බස් රථය
එම ගමන් මාර්ගයේ ගමන් ගන්නා පෞද්ගලික බස් රථ හිමිකරුවකු මිනිපේ 6 කණුව ප්‍රදේශයේදී හරස් කර පොලු මුගුරු සහිතව පැමිණ CTB බස් රථයේ රියැදුරුට හා කොන්දොස්තරවරයා හට ප්‍රමාද වී පැමිණෙන ලෙස මරණීය තර්ජනය කරනු එහි දැක්වේ.

සී.ටී.බී. බස් රථයේ ගමන් මඟ අහුරා ඉදිරියෙන් යන පෞද්ගලික බස් රථය හෙමිහිට ගමන් කරමින් සී.ටී.බී. බස් රථයට දීර්ඝ දුර ප්‍රමාණයක් ඉස්සර කිරීමට නොදෙන බව වීඩියෝවෙන් පෙනී යයි. සිද්ධිය වී ඇත්තේ පසුගිය 10 වැනිදා සිකුරාදා උදෑසනයි. මරණ තර්ජනය පිළිබඳව CTB බස් රථයේ රියැදුරු හා කොන්දොස්තරවරයා පසුගිය සිකුරාදා (10) හසලක පොලිසිය වෙත පැමිණිලි කර ඇත.  ඒ අනුව පෙරේදා (13) සැකකරුවන් හසලක පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් මහියංගණ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


අවස්ථා රැසකදී මෙම පෞද්ගලික බස් රථයේ හිමිකරුවන් ලංගම බස් රථයේ ගමන් මඟ අහුරා රජයේ ලංගම සේවක මහතුන් හට පහරදීමට තැත් කිරීම්, බැන වැදීම් පිළිබදව  හසලක පොලිසිය වෙත පැමිණිලි රැසක් ලැබී ඇති බවට හසලක පොලීස් ආරංචි මාර්ග සඳහන් කරයි.
සමථ මණ්ඩලයේද සිද්ධින් කිහිපයක් සමථයකට පත්ව ඇති  අතර එසේ තිබියදී නැවත නැවත රජයේ සේවකයන්ගේ රාජකාරියට අවහිර වන ලෙස බැනවැදීම්, මරණ තර්ජනය කිරීම් අඩුවක් නොමැති බවට හසලක ලංගම ඩිපෝවේ සේවකයෝ පවසති.  මේ අනුව රජය මගී ප්‍රවාහන බස්  සේවාවට මෙන්ම පෞද්ගලික බස් රථ හිමියන්ගේ  මාෆියාවෙන් මිදී කටයුතු කිරීමට අවස්ථාව ඇත්තේ නැද්ද යන්න ගැටලුවක්ව ඇත.

මෙම පෞද්ගලික බස් රථ හිමිකරුවාට බස් රථ කිහිපයක් ඇති අතර ඉන් 2ම මාර්ග බලපත්‍ර නොමැතිව රන්දෙණිගල මාර්ගයේ ධාවනය කරන බවත් රියැදුරු බලපත්‍ර කොන්දොස්තර බලපත්‍ර නොමැතිව එම බස් රථ හිතු මතේ ධාවනය කරන බවට හා ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීම වැනි චෝදනා රැසක් ඇති අතර මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් අවස්ථා රැසකදී දැනුවත් කළද කිසිදු ප්‍රතිචාරයක් නොමැති බවට හසලක ලංගම ඩිපෝ නිලධාරීහු පවසති.
-රංජිත් කරුණාවීර-

සිද්ධියට අදාළ වීඩියෝව පහතින්