ලෝ පුරා ප්‍රසිද්ධ "විනී ද පූ" කාටූනය ඇසුරෙන් නිෂ්පාදනය කර ඇති "ක්‍රිස්‌ටෝපර් රොබින්" සිනමාපටය චීනයේ ප්‍රදර්ශනය කිරීම සඳහා අවසර නොදීමට චීන බලධාරීන් තීරණය කර ඇති බව වාර්තා වේ.

 මෙම තීරණයට හේතු ඉදිරිපත් කර නොමැත.
 කෙසේ වෙතත්, පූ වලසා කාටූන් චරිතයේ ඡායාරූප පසුගිය වසරේ සිට සමාජ මාධ්‍ය ජාලවලින් ඉවත් කිරීමට චීනය කටයුතු කර ඇත. මෙයට හේතුව වන්නේ කාටූන් චරිතය විවිධ දේශපාලනඥයන්ට සමාන කිරීමය.


 ඇත්තෙන්ම මෙය සිදු වූයේ චීන නායක ෂී ජින්පින් මෙම කාටූන් චරිතයට සමාන කිරීමත් සමඟය.

 පූ වලසා සහ එහි තවත් ප්‍රසිද්ධ චරිතයක්‌ වන 'ටිගර්' නම් කොටියා එකට ඇවිද යන ඡායාරූපයක්‌, 2013 වර්ෂයේ ෂී ජින්පින් සහ ඇමරිකාවේ හිටපු ජනාධිපති බරක්‌ ඔබාමා එකට ඇවිද යන ඡායාරූපයක්‌ සමඟ සන්සන්දනය කර තිබෙනු සමාජ මාධ්‍ය ජාල ඔස්‌සේ දැකිය හැකිය.

 ඉන් පසු 2014 වර්ෂයේදී ෂී ජින්පින් ජපාන අගමැතිවරයා වන ෂින්සෝ අබේ අතට අත දෙන ඡායාරූපයක්‌, පූ වලසා සහ 'ඊයෝර්' නම් බූරු පැටවා අතට අත දෙන ඡායාරූපයකට සමාන කර තිබිණි.

 මෙම ඡායාරූප මහත් ප්‍රසිද්ධියට පත්වුණි. නමුත් වැඩි කාලයක්‌ ගතවීමට පෙර එම ඡායාරූප ඒවා ඇතුළත් සමාජ මාධ්‍ය ජාලවල පළවූ සියල්ල අවහිර කිරීමට චීන බලධාරීහු පියවර ගත්හ.

 2015 වසරේදී චීන ජනාධිපති ෂී ජින්පින් මෝටර් රථ ප්‍රදර්ශනයකදී විනී ද පූ සෙල්ලම් කාරයක නැඟී සිටින චිත්‍රපටයක්‌ අසල සිටියදී ලබාගත් ඡායාරූපයක්‌ "චීනයේ වැඩිම පරීක්‍ෂාවට ලක්‌වූ ඡායාරූපය" බවට පත්ව ඇතැයි දේශපාලන විශ්ලේෂණ ආයතනයක්‌ වන 'ග්ලෝබල් රික්‌ස්‌ ඉන්සයිට්‌ස්‌' පවසයි.