කැනඩාවේ රැකියා ලබා දෙන බව කියමින් මහණ වෙස් ගනිමින් ලංකාවේ විවිධ ප්‍රදේශවල අයගෙන් රුපියල් කෝටි ගණනක් වංචා කොට හලාවත මාරවිල ප්‍රදේශයේ හෝටලයක සැඟවී සිටි අයකු 11දා අහුන්ගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල යන්තම්පලාව
පදිංචි අයෙකි.මොහු සතුව තිබී මුදල් රුපියල් එක් කෝටි අට ලක්ෂ විසි දහසක්ද රුපියල් දෙලක්ෂ හැට පන් දහසක් වටිනා රන් භාණ්ඩද ලක්ෂ 70ක් වටිනා ජීප් රථයක්ද රුපියල් 15000ක් වටිනා අත් ඔරලෝසුවක්ද, ටැබ් එකක් සහ ජංගම දුරකථන කිහිපයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

මීට මාස හයකට පමණ පෙරදී පුවත්පතේ පළවූ දැන්වීමක් අනුව අහුන්ගල්ල ගල්වෙහෙර ඓතිහාසික මළුවවත්ත පුරාණ රජමහා විහාරස්ථානයට මොහු ගල්කුලමේ සෝරත හිමි නමින් පෙනී සිටිමින් පැමිණ ඇත කැනඩාවේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයකු ලෙස සේවය කළ බවත්, තමා ලංකාවේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයකු ලෙස සේවය කළ අයකුගේ පුතෙක් බවත් පවසා ඒ අනුව කැනඩාවේ රැකියා ලබාදෙන බව කියමින් රට පුරා අයගෙන් මෙසේ මුදල් වංචා කර තිබේ. මොහු මීට සති දෙකකට පමණ ඉහතදී හිටි හැටියේ සැඟවී පලා ගොස් තිබිණි. අහුන්ගල්ල පොලිසියට ලැබුණු පැමිණිලි අනුව

ක්‍රියාත්මක වූ පොලිසිය දුරකථන සංවාද පරික්ෂා කරමින් හා ලැබුණු තොරතුරු මත ක්‍රියාත්මක වී හලාවත මාරවිල සංචාරක හෝටෙලයක සැඟවී සිටියදී පෙරේදා අලුයම ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

දැනට මොහුට විරුද්ධව පැමිණිලි 30ක් පමණ ලැබී තිබෙන බවත් තවත් පැමිණිලි ලැබෙමින් පවතින බවත් පැවැසේ. රට හැර යාමට විදේශ ගමන් බලපත්‍රයක් සකස් කරගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක වූ තැන මොහු මෙම හෝටලයට පැමිණ නතර වී ඇති බව අහුන්ගල්ල පොලිස් ස්ථානාධිපති සම්පත් පත්මලාල් මහතා පවසයි.
මොහු විදේශගතවීමට සිටියේද යන්න පිළිබඳව සැකයක් මතු වූ බව පොලිසිය කීය.
කැනඩාවේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන බව හඟවමින් රටේ විවිධ පළාත්වල පුද්ගලයන් කැනඩාවේ රැකියාවලට යවන බව කියමින් ලක්ෂ දෙකේ සිට ලක්ෂ හය දක්වා මුදල් ලබාගෙන ඇති බවට පැමිණිලි ලැබී ඇති බව පොලිසිය කියයි.
මෑතක දී අහුන්ගල්ල ගල්වෙහෙර ඓනිහාසික මළුවවත්ත පුරාණ රජමහා විහාරයේ සිට දායකයන්ගේ හා ජනතාවගේ විස්වාසය දිනාගනිමින් සිටි මොහු හිමිනමක ලෙස පෙනී සිට කැනඩාවට යැවීමට මුදල් ලබාගැනීමෙන් පසු ඉකුත් 30 දින අතුරුදන්ව සිටි බවද පොලිසිය කියයි.
මෙහිදී අහුන්ගල්ල පොලිසියට හා ඇල්පිටිය හා මිරිහාන පොලිස් කොට්ඨාස ඇතුළු පොලිසි රැසකට මෙම සිද්ධිය ගැන පැමිණිලි ලැබී තිබුණ බව පොලිසිය කියයි.
වෛද්‍ය පරීක්ෂණ කටයුතු සහ තානාපති කාර්යාලයට පැමිණෙන ලෙස සැකකරු දැනුම් දී තිබූ අතර ඒ අනුව සියගණනක් පුද්ගලයන් කොළඹට පැමිණ තිබූ බව පොලිසිය කළ පරික්ෂණවලදී හෙළිවී ඇත.
සවස් වනතුරු හිමිනම නොපැමිණිම නිසා ඇතිවූ සැකය මත අදාළ පුද්ගලයන් පොලිසිවලට පැමිණිලි කර ඇත.
මාතර අවිස්සාවේල්ල, ආණමඩුව, හලාවත, හල්දුම්මුල්ල මතුගම අගලවත්ත, නුවරඑළිය,

අහුන්ගල්ල ඇතුළු රටේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් මෙසේ රුපියල් ලක්ෂ ගණනක මුදල් ලබාගෙන තිබූ මෙම සැකකාර හිමිනම වාහන කුලි පදනම මත ලබාගෙන වාහන මාරුකරමින් සුඛෝපභෝහි ජීවිතයක් ගතකර ඇති බවට ද තොරතුරු හෙළිවී තිබේ. අහුන්ගල්ල පොලිසියේ ස්ථානාධිපති සම්පත් පද්මලාල් මහතා ඇතුළු පොලිස් කණ්ඩායම් කීපයක් ඉතා සුක්ෂම ලෙස පරික්ෂණ ආරම්භ කළ අතර, ඒ අනුව අහුන්ගල්ල පොලිසියේ ස්ථානාධිපති හා ඇල්පිටිය කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් හලාවත - මාරවිල ප්‍රදේශයේ නවාතැන්පොළක් වටලා පෙරේදා (11) සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු සිවුරු අත්හැර සුබෝපභොගී ජීවිතයක් ගත කර ඇති බවද පොලිසිය කියයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු ළග තිබී රුපියල් එක්කෝටි අටලක්ෂ විසිදහසක මුදලක්, රුපියල් පහළොස් දහසක් වටිනා ඔරලෝසුවක් වටිනා රන් අත්පළඳනාවක් මුදු දෙකක් රුපියල් ලක්ෂ 70 ක් වටිනා. නිසාන් හයිබ්‍රිඩ් වර්ගයේ ජීප් රථයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවට ආරංචිවී රටේ විවිධ පළාත්වලින් පිරිසක් ඊයේ (12) අහුංගල්ල පොලිසියට පැමිණ තිබේ  මාතර පදිංචිකරුවකුවූ රොෂාන් නමැත්තෙකු කීවේ තමාගෙන් රුපියල් ලක්ෂ දහසයක මුදලක් පුද්ගලයන් තිදෙනකු කැනඩාවට යැවීමට තමාගෙන් ලබාගත් බවයි. සැකකරු ඊයේ (12) දින බලපිටිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
සැකකරු විදේශගතවීමට සූදානම්ව සිටි බවට සැකකරන බවත් ඒ සඳහා ඇදුම් මිලදී ගත් ගමන් බෑගයක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.