පරිගණක ක්‍රීඩාවකින් පරාජය විඳ ගැනීමට නොහැකිව තම හොඳම මිතුරාට තියුණු ආයුධයකින් ඇන තුවාල කළැයි කියන සිද්ධියකට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් පෞද්ගලික පාඨමාලා ආයතනයක සිසුවෙකු අද (06දා) දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියම කළේය.

 මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වී සිටි බව කියන උඩුමුල්ල, මුල්ලේරියාවේ පදිංචි 21 හැවිරිදි පරිගණක පාඨමාලාවක් හදාරන සිසුවෙකි.

තුවාලකරුගේ සහෝදරයා වන නිශාන්ත ගුණවර්ධන නමැත්තා කුරුඳුවත්ත පොලීසියට කළ පැමිණිල්ලකට

අනුව සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත් කෙරීණි.

 මෙම සිද්ධියට අදාළ සැකකරු සහ තුවාලකරු තමාට අයත් පරිගණකවලින් ඔවුන්ගේ නිවෙස්වල සිට මෙම ක්‍රීඩාවට ඇබ්බැහි වී ක්‍රීඩා කිරීගමන් අනතුරුව එක් අයෙකු පරාජය වීම හේතුවෙන් උරණ වී ඇති වූ බහින්බස් වීමක ප්‍රතිඵලයක් ලෙස මෙම පිහි ඇනුම සිදු වී ඇතැයිද පොලීසිය වැඩිදුරටත් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

සිද්ධියට අදාළව සිදුකල පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දුන් කුරුඳුවත්ත පොලීසියේ නිලධාරීහු ජුනි මාසයේ සිට තමාත්, තමාගේ හොඳම මිතුරාත් ලැප්ටොප් පරිගණකය හරහා 'කෝල් ඔෆ් ඩියුටි' නම් පරිගණක ක්‍රීඩාව කළ අතර, ඉන් තමා ජයගත් බව තුවාලකරු සඳහන් කර ඇතැයි අධිකරණයට දැනුම් දුන්හ.

 පරිගණක ක්‍රීඩාවේ පරාජය විඳ දරාගත නොහැකි වූ සැකකරු පසුගිය 26 වැනිදා පරිගණක පාඨමාලාව අවසන් වීමෙන් පසු මාර්ගයට පැමිණ ඇති බවත්, ඒ වන විට ඔහු සගවාගෙන සිටි තියුණු ආයුධයකින් තුවාලකරුගේ උදර ප්‍රදේශය කපා ඇති බවත්, ඔවුන් දෙදෙනා වළක්වාගැනීමට ඒ අවස්ථාවේදී කිසිදු අයෙකු පැමිණ නැති බවත් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්ර සැකකරු ලබන 06 වැනිදා තෙක් රීමාන්ඩ් භාරයට පත් කළේය.