මෝටර් රථ දෙපාර්තමේන්තුවේ රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම සහ යෝග්‍යතා පරීක්ෂාව පැවැත්වීම පෞද්ගලීකරණය කිරීමෙන් රජයට මාසිකව රුපියල් මිලියන 9ක අලාභයක් සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසයි. අගමැතිවරයා සහ මලික් සමරවික්‍රම ඇමැතිවරයාගේ වුවමනාව මත මෙම කටයුතු
සිදුකරන බවත් ඒ සඳහා නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයාගේ සහායද ලබාගෙන ඇති බවත් මන්ත්‍රිවරයා කීවේය. කොළඹ නිදහස් මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (16දා)

පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව කීවේය.

රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී එය ඩිජිටල්කරණය කර නව රියැදුරු බලපත් නිකුත් කළ බවත් ඒ සඳහා පෞද්ගලික ආයතනයක් තෝරා ගනිමින් රුපියල් 250ක් වැනි මුදලකට මුද්‍රණය කළ හැකි රියැදුරු බලපත්‍රය සඳහා රු. 1700ක් අය කළ බවත් මන්ත්‍රිවරයා සඳහන් කළේය. එම මුදලින් රු. 1340ක් මෝටර් රථ දෙපාර්තමේන්තුව අදාළ ආයතනයට ලබා දෙන අතර ඉතිරි මුදල දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා යොදවා තිබේ. නමුත් මේ වනවිට රියැදුරු බලපත්‍ර නිකුත් කරන අදාළ ආයතනය එම යන්ත්‍රය දෙපාර්තමේන්තුවට පැවරීමට නියමිතය. එය පවරා ගැනීම ප්‍රමාද කිරීමේ කාලය මාස 6න් හයට දික් කිරීමෙන් එම ආයතනය හරහා අනියමින් මුදල් ලබා ගන්නා බවද දිසානායක මන්ත්‍රිවරයා කීවේය. ඊට අමතරව ප්‍රායෝග්ගික පරීක්ෂණ පැවැත්වීමට පෞද්ගලික අංශයට පැවැරීමට කටයුතු කරන බවද මන්ත්‍රිවරයා කීය.

-රුචිර දිලාන් මධුසංඛ-