පසුගිය 2017 වසරේ උසස් පෙළ විභාගය නවීන තාක්ෂණික උපකරණ භාවිතයෙන් වංචා කිරීමකට ලක් කළ කොළඹ රාජකීය විද්‍යාලයේ සසික කේසර බංගමුආරච්චි නමැති දන්ත වෛද්‍ය පියෙකුගේ පුතු සිදු කළ එම ක්‍රියාවන් හේතුවෙන් මෙවර උසස් පෙළ විභාගය අධික ආරක්ෂා විධිවිධාන සහිතව
සිදුවෙමින් පවතී
2017 වර්ෂයේ උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයට බ්ලූටූත් උපකරණ ආධාරයෙන් පිළිතුරු ලිවීමේ චෝදනා ලැබ සිටින එවකට පාසල් සිසුවකු වූ සසික කේසර බංගමුආරච්චි නමැති සැකකරුට ඒ දිනවල විදෙස් ගමන් තහනම් කර තිබූ නමුත් නව ගුවන් බලපත්‍රයක් (පාස්පෝට්) ලබා ගැනීමට

අවශ්‍ය යයි දක්වා තිබීම නිසා එම නඩුව නැවත කැඳවා තිබේ. එම අවස්ථාවේ ගම්පහ මහෙස්ත්‍රාත් ඩී.ඒ. රුවන් පතිරණ මහතා විදෙස් ගමන් තහනම් නියෝගය එලෙසම ක්‍රියාත්මක කරන බවට නියම කළේය.

නව ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට සැකකරු අධිකරණයෙන් පෙර නඩු වාරයකදී අවසර ඉල්ලා තිබිණි. ඒ අනුව විදේශ ගත වීම තහනම් කර තිබියදී නව ගුවන් බලපත්‍රයක් නිකුත් කළ හැකිද යන්න ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විමසා අධිකරණයට දැනුම් දෙන ලෙසට නඩුව මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මහෙස්ත්‍රාත් ඩී.ඒ. රුවන් පතිරණ මහතා නියම කර තිබූ අතර අධිකරණයේ අවසර ලබා දෙන්නේ නම් නව ගුවන් බලපත්‍රයක් නිකුත් කළ හැකි බවට ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දී ඇතැයි පැමිණිල්ල මෙහෙය වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණය හමුවේ පැවසීය.


තවද සැකකරු සන්තකයේ තිබියදී අත්අඩංගුවට ගෙන අධිකරණ අවසර මත රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති පරිගණක සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාව මෙතෙක් ලැබී නොමැති බවත් තැපැල් දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් ලේඛන සම්බන්්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදු කරන බවටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණය හමුවේ වැඩිදුරටත් පැවැසීය.

ඇප මත සිටින එම නඩුවේ සැකකරුවන් වන ආර්.ඒ. නුවන් රණසිංහ, ආර්.ඒ. ජයසේන, ලෝචන සුරංග පෙරේරා (මුද්‍රණාල හිමිකරු), සසික කේසර බංගමුආරච්චි (එවකට පාසල් සිසුවා), එම සිසුවාගේ පියා වන සේනාධි ඉන්ද්‍රජිත් බංගමුආරච්චි සහ උපකාරක පන්ති ගුරුවරයා වූ ආර්.ඒ. ජිනේද්‍ර රණසිංහ යන 06 දෙනා ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔක්තෝබර් මස 12 වැනිදාට නැවත අධිකරණයේ පෙනී සිටින ලෙසට සැකකරුවන්ට නියම කෙරුණි. සැකකරුවන් වෙනුවෙන් නීතිඥ ඩී.ඒ.පී. වීරත්න මහතා අධිකරණය හමුුවේ පෙනී සිටියේය.

මිනුවන්ගොඩ - ටෝනි කේ. අතුකෝරල

සිද්ධියට අදාළ පෙර වාර්තාව
කෙමිස්ට්‍රි සර්ගේ පත්‍රිකා නිසා හෙළිවූ රාජකීය සිසුවාගේ බ්ලූටූත් - බොත්තම් -මාපටැඟිලි ගැජට් වංචාව