යතුරුපැදි අනතුරකින් මියගිය තරුණයකුගේ දේහය මහා මාර්ගයේ තබාගෙන රත්නපුර ඇලපාන ප්‍රදේශයේ පිරිසක් පෙරේදා (11දා) සවස පැය 3කට අධික කාලයක් විරෝධතාවක නිරත වූහ. මෙසේ මියගොස් ඇත්තේ ඇලපාන ගගුල්පිටිය නව ගම්මානයේ පදිංචි කේ. රවිඳු ලක්මාල් (21)නමැති අවිවාහක තරුණයෙකි.

ඔහු ඉකුත් 9දා අලුයම 2ට

පමණ තම පෙම්වතිය බැලීම සදහා ගාල්ල කරාපිටිය ප්‍රදේශයේ ඥාති නිවෙසකට ගොස් ඇත්තේ තම මිතුරකු සමගය. එදින උදෑසන 6.00ට මෙම තරුණයාගේ පියා වන කේ ආනන්ද (48) යන අයව ගාල්ල වරාය පොලිසියෙන් දුරකථන ඇමැතුමක් දී පවසා ඇත්තේ තම පුතා රිය අනතුරකට ලක්ව සුළු තුවාල ලබා ඇති බවයි. පසුව එහි ගොස් බලද්දි පුතාගේ දේහය ගාල්ල කරාපිටිය රෝහලේ තබා තිබූ අතර ඔහුගේ මිතුරා වන එරංග යන අයද දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබිණි.

එහෙත් මෙම මරණයට හේතුවක් හෝ රිය අනතුරක් නම් අනතුර වූයේ කවුරුන් අතින්ද යන්න මේවන විටත් අබිරහසක් වී තිබේ. පොලිසිය පවසා ඇත්තේ ඉදිරීයේදි පරික්ෂණ පවත්වා අනතුර කළ අය සොයා ගත යුතු බවයි සිද්ධියට අදාළව 9දා අලුයම ලබාගත් වීඩියෝ දර්ශන සමාජජාල වෙබ් අඩවිවල පළවී ඇති බැවින් මේ පිළිබද සාධාරණ හා කඩිනම් පරීක්ෂණ පවත්වන ලෙස මියගිය අයගේ මවුපියන් ඇතුළු ගම්වැසියෝ ඉල්ලා සිටිති. මියගිය තරුණයා විවාහ වීමට නියමිතව සිටි තරුණියද සිත්වේදනාවෙන් වස පානය කර ඇයද රෝහල් ගතකර ඇති බව කේ ආනන්ද මහතා පවසයි. අනතුර සිදුව ඇත්තේ ඉන් පසුවය.
 පොලිස් පරික්ෂක නිමල් විජයමුනිආරච්චි මහතා විරෝධතාකරුවන්ට ප්‍රකාශ කෙළේ මෙම සිදුවීමට අදාළ පරීක්ෂණ කටයුතු ගාල්ල කරාපිටිය පොලිසිය මගින් කරන බවයි.