සුගිය 2012 වසරේ මාධ්‍ය තුළ විශාල අනේදෝලනයක් ඇති කරමින් රත්මලාන නිවසකදී  සැමියෙකු තම බිරිය හා දරුදෙදෙනා නිදන ඇද තුළදී මරා පිළිස්සීම පිළිබඳ සිද්ධියක් වාර්තා විය. එහි ප‍්‍රධාන සැකකරුවූයේ විමුක්ති මධුරංග ද සිල්වා නමැති විධායක නිලධාරියෙකුවූ සැමියාය.එම ත්‍රිත්ව ඝාතන කළ බවට පිළිගෙන ඔහු මුලදී පොපොච්චාරණය කර තිබුණත් දැන් ඒවා නොකළ බව කියන්නේය.

මොරටුව වේල්ස් කුමරි විදුහලේ ගුරුවරියකවූ සචේතනා සඳමාලි නමැති 31 හැවිරිදි මව සමග තුන් හැවිරිදි ප‍්‍රභාත් බානුක සහ මාසයක් වයසැති ක‍්‍රිෂාන්ත සඳරුවන් නමැති පුතුන් දෙදෙනා මෙම සිද්ධියෙන් මියගොස් තිබුණි.
බිරිය හා ලොකු පුතුගේ ගෙළ සිර කළ බවත් කුඩා පුතු ඇවිළෙන ගින්නට දැමූ බවත් සැකකරු පාපොච්චාරණය කර තිබුණි.
තමාට වෙනත් තරුණියක හා ඇසුරක් පැවති බවත් එම ඇසුර පවත්වන කාන්තාව විවාහ කරගන්නට අවශ්‍ය නිසා මෙම දරු පවුල මරා දමන්නට තීරණය කළ බවත් ඒ දිනවල ඔහුගෙන් දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීම් හමුවේ පිළිගෙන තිබුණි.
 මෙම ඝාතන සිදුකිරීමෙන් පසු බිරිඳගේ මළ සිරුර මාසයක් වයසැති දරුවාට කිරිදෙන ආකාරයට තබා මළ සිරුරු දෙකම සකස් කර ඇඳේ මදුරු දැල දමා අසල තිබූ ඉටිපන්දමක් පත්තු කර නිවා මෙට්ටය අසල තැබූ බවද ඝාතකයා පවසා තිබෙන අතර ඉන් අනතුරුව

බිරිඳගේ සුවඳ විලවුන් බෝතලය මදුරු දැලට ඉස ගිනි තබා කාමරයේ දොර වසා උඩු මහලේ තමා සිටි කාමරයට ගිය බව පවසා තිබුණි.
මෙම සිද්ධියෙන් පසු ඔහු සමග සබදතා පැවැත්වූ බව කියන පෙම්වතියවද අධිකරණයට කැදවා තිබුණ අතර ඔහු හදාවඩාගත් බව කියන මවද ඔහුට විරුද්ධව සාක්ෂි සපයා තිබුණි. ඔහු සේවය කළ ප්‍රමුඛ පෙළේ ඇගලුම් ආයතනයේ තවදුරටත් ඔහු සේවය නොකරන බවට මාධ්‍ය නිවේදන පවා නිකුත් විය.
සිද්ධියෙන් පසු ඔහු කාලයක් සිරගතවූ නමුත් පසුව ත්‍රිත්ව ඝාතන සැකකරු ඇප මත නිදහස් කරන්නට අධිකරණය කටයුතු කර තිබුනි.
කෙසේ වෙතත් ඔහු මේ වනවිට සිද්ධිය සම්බන්දයෙන් පවසන්නේ අතිශය පරස්පර කතාවකි. ඒ තමා බිරිඳ හා දරු දෙදෙනා ඝාතනය කළ බවට පාපොච්චාරණය කළේ පොලිසියේ බලපෑම් නිසා බවයි.

තමා ඇසුරු කළ පෙම්වතිය නිසා සිය සිඟිති දරුවන් දෙදෙනා හා බිරිඳ ගිනි තබා ඝාතනය කළ බවට පාපොච්චාරණයක්‌ කරනා ලෙස ගල්කිස්‌ස පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කළ බලපෑම් හා තර්ජන නිසා තමා ගල්කිස්‌ස මහෙස්‌ත්‍රාත්වරිය හමුවේදී එවැනි පාපොච්චාරණයක්‌ කළේ යැයි මධුර මනරංග ද සිල්වා නමැති විත්තිකරු කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේදී සාක්‍ෂි දෙමින් ප්‍රකාශ කළේය.

එම පාපොච්චාරණය කරනුයේ යම්කිසි බලෑමක්‌ හෝ තර්ජනයක්‌ නිසා දැයි මහෙස්‌ත්‍රාත්තුමිය ඇසූ විට එය සිය කැමැත්තෙන් හා ස්‌වෙච්ඡාවෙන් ම කරනා බව තමා ප්‍රකාශ කළ නමුත් එය අසත්‍යයක්‌ බව ද විත්තිකරු ප්‍රකාශ කළේය. සිය බිරිඳට අනියම් සබඳතාවක්‌ තිබෙනා බව සිය දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර ඇතත් එය අසත්‍යයක්‌ බව ද එහිදී පැවසූ විත්තිකරු සිය නීතිඥ ජාලිය සමරසිංහ මහතා විසින් සකස්‌ කළ දිවුරුම් ප්‍රකාශය කියවා බලා එය නිවැරදි බව පිළිගෙන තමා එයට අත්සන් කළේ යෑයි ද පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් දිලීප පීරිස්‌ මහතාගේ හරස්‌ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය.

විත්තිකරු විසින් එම ඝාතන සම්බන්ධයෙන් ගල්කිස්‌ස මහෙස්‌ත්‍රාත් අධිකරණයට ලබා දී තිබූ පාපොච්චාරණය ස්‌වේච්ඡාවෙන් ලබා නොදුන් බව කොළඹ මහාධිකරණය හමුවේදී ප්‍රකාශ කොට තිබීම නිසා එය ඔහු ස්‌වෙච්ඡාවෙන් ලබාදුන් පාපොච්චාරණයක්‌ ද යන කරුණ අනාවරණය කරගැනීම සඳහා කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේදී පැවැති වෙයඩාර් පරීක්‍ෂණයේදී විත්තිකරු එලෙස ප්‍රකාශ කළේය.


එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් දිලීප පීරිස්‌ මහතාගේ හරස්‌ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් විත්තිකරු මෙසේද ප්‍රකාශ කළේය.

එම සිද්ධිය සිදුවුණේ 2012 දෙසැම්බර් මාසයේ 17 වැනිදා. මාව ගල්කිස්‌ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරද්දී මගේ ජීවිතයේ අතිශය පෞද්ගලික කරුණක්‌ ගැන මට දැනගන්නට ලැබුණා. මම හිතාගෙන හිටියේ මම අපේ පවුලේ එකම දරුවා කියලයි. නමුත් මම දරුකමට හදාගත්තු අයෙක්‌ බව අනාවරණය වුණා. ඒක මට විශාල කම්පනයක්‌ වුණා. එම සිද්ධියෙන් පසුව පොලිසිය හා මාධ්‍ය මාව අපරාධකරුවෙක්‌ බවට පත් කරලා තිබුණා. මාව රක්‍ෂිත බන්ධනාගාරගත කරලා මාසයකට අධික කාලයක්‌ යනතුරු මාව හදාගත්තු අම්මා ඇතුළු කිසිවකු මාව බලන්නවත් ආවේ නෑ. මට අඳින්න ඇඳුමක්‌වත් ගෙන්නගන්න ක්‍රමයක්‌ තිබුණේ නෑ.

මම මහෙස්‌ත්‍රාත්තුමියට මුලින් පාපොච්චාරණයක්‌ කරන දවස්‌වල මට කිසිම අසාධාරණයක්‌ වුණේ නෑ. එම පාපොච්චාරණය නිවැරැදි කරන්න නැවතත් රහස්‍ය ප්‍රකාශයක්‌ කිරීමට අවසර ලබාදෙන ලෙසට කළ ඉල්ලීම නොසලකා හැරීම නිසයි මට අසාධාරණයක්‌ වුණේ.

නි. සො. ජ. - උගත් මහෙස්‌ත්‍රාත්තුමිය වංක ලෙස කටයුතු කර ඔබට අසාධාරණයක්‌ කළා කියලා ඔබ දිවුරුම් ප්‍රකාශයක්‌ මගින් දන්වා තිබුණා. ඇත්තටම ඔබට අධිකරණයෙන් එහෙම අසාධාරණයක්‌ වුණාද?

සාක්‍ෂිකරු - නෑ

නි. සො. ජ. - ඇයි එහෙනම් ඔබ උගත් මහෙස්‌ත්‍රාත්තුමිය ඔබට වංක ලෙස අසාධාරණයක්‌ කළා කියලා දිවුරුම් ප්‍රකාශයට ඇතුළත් කළේ.

සාක්‍ෂිකරු - මම කිව්ව කරුණු අනුව නීතිඥ මහත්තයා තමයි ඒක හැදුවේ.

නි. සො. ජ - එම ප්‍රකාශයේ අඩංගු කරුණු නිවැරැදි බව පිළිගෙන ඔබ ඒකට අත්සන් කළානේ.

සාක්‍ෂිකරු - ඔව්.

නි. සො. ජ - ඔබට පොලිසිය ක්‍රිකට්‌ පොල්ලකින් ගහලා බංකුවක නිදි කරවලා තිබ්බා කියලා ඔබ කිව්වනේ. ඇයි එම කරුණු ඔබේ දිවුරුම් ප්‍රකාශයේ සවිස්‌තරව අඩංගු කරලා නැත්තේ?

සාක්‍ෂිකරු - නීතිඥ මහත්තයා තමයි ඒක හැදුවේ.

නි. සො. ජ - ඔබ අනියම් සබඳතාවයක්‌ පැවැත්වූ පෙම්වතියගේ නම එම දිවුරුම් ප්‍රකාශයට ඇතුළත් කරලා තිබුණාද?

සාක්‍ෂිකරු - නෑ. මගේ ස්‌ථාවර ගිණුම් දෙකක රුපියල් ලක්‍ෂ 30 ක මුදලක්‌ තිබුණා. නීතිඥ මහත්වරුන්ට ගෙවන්න සල්ලි නැති නිසා මෙම ගිණුම්වල අයිතිය අම්මට පවරලා සල්ලි ගන්න මම පියවර ගත්තා.

පරීක්‍ෂණය ඉන් අවසන් කළ අධිකරණය එම නඩුවේ සාක්‍ෂි විභාගය සම්බන්ධයෙන් ලිඛිත දේශන ගොනු කරන ලෙසට දෙපාර්ශවයට නියෝග කළේය.