මුදල් හා දේපොළ වෙනුවෙන් එකිනෙකා ඇනකොටා ගනිමින් ගහමරා ගන්නා අවධියක හදිසියේ රෝගාතුර වී මියගිය සිය නීත්‍යනුකූල සැමියාට අයත් සියලුම දේපළ ඔහු ඇසුරු කළ කාන්තාවන්ට (අනියම් බිරියන්) ලබාදුන්නාට කිසිදු ගැටලුවක් නොමැති බව මියගිය පුද්ගලයාගේ නීත්‍යනුකූල බිරිය අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ පැවැති හදිසි මරණ පරීක්‍ෂණය අවස්ථාවේ පැවැසුවාය.

අනුරාධපුරය නගරය ආසන්නයේ පිහිටි නිවෙසක අබිරහස් අන්දමින් මියගොස් සිටි 65 හැවිරිදි තිදරු පියකුගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය හා හදිසි මරණ පරීක්‍ෂණය පෙරේදා (9දා) අනුරාධපුරය ශික්‍ෂණ රෝහලේදී
පැවැත්විණි. එම අවස්ථාවට මියගිය පුද්ගලයාගේ බිරිය හා අනියම් බිරින්දෑවරුන් දෙදෙනෙක් පැමිණ සිටියහ. කලබලකාරි කාන්තාවක් නොවුණු මියගිය අයගේ බිරිය ඔහුට අයත් සියලුම දේපොළ වුවත් සැමියා ඇසුරු කළ කාන්තාවන්ට ලබා දෙනවාට කිසිදු අකැමැත්තක් නොමැති බව එහිදී ඇය පැවැසුවාය.

මරණයට පත්වූ පුද්ගලයා වසර ගණනාවක් තිස්සේ මැද පෙරදිග රටක ඉන්ධන නිපදවන ආයතනයක ඉන්ජිනේරුවකු වශයෙන් කටයුතු කර තිබෙන බවත් ඔහුට විශාල දේපොළක් හිමි බවත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වූ බව පරීක්‍ෂණ පැවැත්වූ පොලිසිය පැවැසුවේය.


මරණකරු ඉතා ගුප්ත ජීවිතයක් ගතකර තිබෙන බව පොලිසිය අනාවරණය කරගෙන තිබිණි. බිරිය සමඟ පසු කාලයේදී කිට්ටු සබඳතාවක් පවත්වා නැති බවද අනාවරණය කරගෙන තිබිණි. ඇය කොළඹට ආසන්න නගරයක පදිංචි වී සිටින රජයේ රැකියාවක නිරත වන්නියකි. මීට සති කිහිපයකට ඉහතදී මියගිය අය ඇය සමඟ මහනුවර ප්‍රදේශයේ පිහිටි ඥාතීන්ගේ නිවෙස්වල ගොස් ඇති බව පැවැසුවේය.

ඔහු අනුරාධපුරය ජයසිරිපුර, බොරැල්ල සොයිසාපුර හා මොරටුව ප්‍රදේශවල කාන්තාවන් තිදෙනෙකු සමඟ ඇසුරක් පත්වා තිබෙන බවත්, මීට මාස 18කට පෙර ඔහු පදිංචිව සිටින නිවෙස නීත්‍යනුකූල බිරියගේ නමට ලියා ඇති බවත් පොලිසිය පැවැසුවේය. එම නිවෙසේ අයිතිය සහිත සියලු ලේඛන බිරිය අතට පත්වීමට සලස්වා ඇති අතර මරණ පරීක්‍ෂණය සිදුකෙරෙන අවස්ථාවේ ජයසිරිපුර හා බොරැල්ල, සොයිසාපුර පදිංචි කාන්තාවන් දෙදෙනා අනුරාධපුර ශික්‍ෂණ රෝහලට පැමිණි බවද පොලිසිය කීය.

වෙනත් කාන්තාවන් මියගිය සැමියාගේ දේපළ බෙදා ගැනීමට පොරකන සමාජයක ඔහුගේ බිරිය ඉතා නිහතමානීව සිය සැමියාට සැලකූ, ඔහුව බලා කියාගත් කාන්තාවකට අවශ්‍ය නම් අනුරාධපුර පිහිටි නිවසක් ලබාදීමට කිසිදු අකැමැත්තක් නැති බව මරණ පරීක්‍ෂණය අවස්ථාවේ සැලකර තිබිණි. මරණකරු සෙසු කාන්තාවන්ටත් කිසිදු අසාධාරණයක් සිදු නොවන අන්දමින් කටයුතු සිදුකර තිබූ බව අනාවරණය විය. මියගිය පුද්ගලයා රැකියාවෙන් විශ්‍රාමගත් පසුව විටින් විට විදේශ රටවල්හි සංචාරය කර ඇති බව පොලිසිය අනාවරණය කළේය. මරණකරුගේ නිවෙසේ තිබී අධි උත්තේජන ඖෂධ බෝතලයක් පොලිසිය සොයාගෙන තිබූ අතර ඔහුට වැලඳුණු හදිසි හෘදයාබාධයක් නිසා මරණය සිදුවී ඇති බව පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් නිගමනය කර තිබිණි.

අනුරාධපුරය - මහේෂ් විජේසූරිය