මෙවර කතරගම ඇසළ මංගල්‍යයේ සිට දෙවියන් වැඩම වන අවස්‌ථාව ඡායාරූප ගැනීමට හා වීඩියෝ ගත කිරීමට කිසිවෙකුට ඉඩ ලබානොදෙන බව රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක මහතා මාධ්‍ය වෙත පැවැසීය.

ඒ මහතා මේ බැව් පැවසුවේ කතරගම ඇසළ මංගල්‍යය වෙනුවෙන් කතරගම බස්‌නායක නිල මැඳුරේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්‌වෙමින්ය.

ඒ මහතා මෙසේද පැවැසීය. අනාදිමත් කාලයක්‌ පුරාවට පවතින චාරිත්‍ර මෙන්ම සම්ප්‍රදායන් රැකගෙන එනු ලබන කතරගම ඇසළ මංගල්‍යය ලංකාවේ

පැවැත්වෙන පැරණිම පෙරහැරක්‌. දුටුගැමුණු රජතුමාගේ නියමයෙන් චාරිත්‍ර විධි අකුරට ඉටුකරන පෙරහැරක්‌. ජනයාට නොපෙන්වන චාරිත්‍ර රැසක්‌ මෙහි තිබෙනවා. මෙම රහස්‌ පිළිබඳව සෙවීමට විවිධ අන්තවාදීන් නවීන කැමරා උපයෝගි කරගෙන මෙම පුදබිම වෙතද බැලුම් හෙළා තිබෙනවා. එබැවින් දේවාලය තුළත් දෙවියන් වැඩම වන අවස්‌ථාවේදීත් පමණක්‌ ඡායාරූප හා වීඩියෝගත නොකරන ලෙස සියලුම දෙනාට දන්වා සිටිනවා.

මෙහිදී අදහස්‌ දැක්‌වූ රුහුණු මහා කතරගම දේවාලයේ වැඩබලන බස්‌නායක නිළමේ දිල්රුවන් රාජපක්‍ෂ මහතා පැවසුවේ කතරගම දේවාලයේ කපු මහතුන් විසින් පාරම්පරිකව දේවාලයේ චාරිත්‍ර ඉටුකරන බවත් ඔවුන්ගේ ඉල්ලීම් වලට ඇහුම්කන්දීම සිදුකරන බවත්ය. මෙයට අමතරව වාසනා හස්‌ති රාජයා දෙවියන් වැඩමවීමට සිටින එකම ඇතා වන බැවින් පෙරහැරේ ගමන් කරන විටදී සුවඳ විලවුන් මෙන්ම විවිධ ද්‍රව්‍ය ඉසීම නොකරන ලෙස ඉල්ලා සිටින බවද කීවේය. මේ වනවිට මෙම ද්‍රව්‍ය ඉසීම නිසා ඇතාගේ ඇස්‌ වලට හා සමට විවිධ ආබාධ ඇති වී ඇති බැවින් වෛද්‍ය උපදෙස්‌ මත මෙම ක්‍රියාවන් සිදුනොකරන ලෙස මහජනතාව දැනුවත් කරන බවද ඔහු කීවේය.