හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව හිටපු අල්ලස් කොමසාරිස් ජනරාල්වරිය 'ඇවන්ගාඩ් නඩුව' පවරා ඇත්තේත්, මහෙස්ත්‍රාත්වරයා මෙන්ම මහාධිකරණ විනිසුරුවරයාද එකී නඩුව විභාගයට ගෙන ඇත්තේත්, රටේ බල පැවැත්වෙන නීතිය තුළ ඒ සඳහා කිසිදු නීති ප්‍රතිපාදනයක් නොමැතිව
තිබියදී බව ප්‍රකාශ කළ අභියාචනාධිකරණය එකී නඩුව විභාග කිරීම අත්හිටුවමින් ඊයේ (4දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

අචල වෙංගප්පුලි හා අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිශ්චය මණ්ඩලය විසින් ඉහත නියෝගය නිකුත් කරන ලදී.

ඉකුත් සඳුදා (2දා) පැවැති නඩු විභාගයේදී ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා, ජේ‍යෂ්ඨ නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජේ‍යෂ්ඨ නීතිඥ සුගත් කල්දේරා මහතා සමඟ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන්

කරුණු දක්වමින් තහවුරු කර සිටියේ අල්ලස් කොමිෂන් සභා ආඥාපනතට එකතු කොට ඇති 1980 අංක 2(1), 1994 අංක 20 හා අංක 78(1) සංශෝධන හා 12 වැනි ඡේදයේ අංක 78(1) වගන්තියෙන් ප්‍රකාශිතව ඇති නීති ප්‍රතිපාදන අනුව මෙම නඩුව කිසිදු අධිකරණයකින් භාර ගැනීමටවත් නොහැකි බවය.

එකී වාචකයට එරෙහිව කරුණු දක්වමින් තම ස්ථාවරය ඉදිරිපත් කිරීම සදහා නීතිපතිවරයාට ඉඩ සලසමින් ඊයේ නඩුව යළි කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා නියෝජනය කරමින් අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටි ජේ‍යෂ්ඨ රජයේ නීතිඥ ජානක බණ්ඩාර මහතා කියා සිටියේ පෙත්සම් පාර්ශ්වය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති මේ වාචකය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින්ද කොළඹ මහාධිකරණ විනිසුරුවරයා විසින්ද, ප්‍රතික්ෂේප කරන ලද බවත් ඔවුන් එලෙස එය ප්‍රතික්ෂේප කරන ලද්දේ තමා විසින් ඊට එරෙහිව ඉදිරිපත් කරන ලද විරෝධතාවන් පිළිගනිමින් බවත්ය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ උගත් ජනාධිපති නීතිඥතුමන් මේ පිළිබඳව අදාළ පනතේ අඩංගු කරුණු හරිහැටි කියවා නොමැති බවය.

එකී ප්‍රකාශයට සිය බලවත් විරෝධය පළ කළ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ රජයේ නීතිඥවරයාගේ ප්‍රකාශය කිසිසේත්ම මෙවැනි උත්තරීතර අධිකරණයක් හමුවේ ප්‍රකාශ කිරීමට තරම් නොවන ඉතාමත්ම බොළඳ ප්‍රකාශයක් බවත් එය හෙළා දකින බවත් තමා මැදියම් රැයක් පසුවනතුරු අදාළ නීතිපොත් පරිශීලනය කරන්නකු හා කරුණු හදාරන්නකු බවත්  ය.


ඉදිරිපත් කරනු ලැබ ඇති වාචකයට අදාළව යම් කරුණු කාරණා ඇත්නම් ඒවා ඉදිරිපත් කරමින් එකී වාචකය බිඳ හෙළීිම තම වගකීම බව වටහාගෙන ක්‍රියාකිරීම නීතිඥයකුගේ භූමිකාව විය යුතු බවද ඔහු කියා සිටියේය.

තවදුරටත් මෙහිදී කරුණු ප්‍රකාශ කළ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ මෙම නඩුව පවරා ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් බවත් ඇය විසින් අල්ලස් හෝ දූෂණ කොමිසමේ අනුමැතිය නොමැතිව මෙම නඩුව පවරා ඇත්තේ විවෘතවම 2015 දී බලයට පත් වූ යහපාලන ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ පෙලඹවීම මත ප්‍රතිවිරුද්ධ දේශපාලනඥයන්ට එරෙහිව අභූත චෝදනා නඟමින් ඔවුන් අත්අඩංගුවට ගෙන සිර කර තැබීමට දියත් කරන ලද කුප්‍රකට දේශපාලන පළිගැනීමේ ක්‍රියාදාමයේ තවත් කොටසක් වශයෙන් බවත්ය.

කොමිසමේ උගත් සාමාජිකයන් හමුවට මෙය ඉදිරිපත් වූයේ නම් කිසි ලෙසකින්වත් මෙම අභූත චෝදනාව සඳහා ඔවුන්ගේ අනුමැතිය නොලැබෙන බැව් දන්නා නිසාත් සාමාන්‍යයෙන් සිදු කෙරෙන ආකාරයට වෙනත් නඩු ඉදිරිපත් කිරීමේ නියැළී සිටින නිලධාරීන් අතට පත්වූයේ නම් ඔවුන්ද මෙයට පැකිළෙන බැව් දන්නා නිසාත්, ඇය විසින් තමාම අධිකරණය හමුවට පැමිණ පෞද්ගලිකවම මෙම නඩුව ගොනු කිරීමටත්, එම නඩුව සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයේ සිටම දිගටම උසාවි පැමිණ කරුණු ඉදිරිපත් කිරීමටත් ක්‍රියා කිරීමෙන්ම මෙහි නියම තත්ත්වය ගරු විනිසුරුතුමන්ලාට පහසුවෙන්ම වටහාගත හැකි බවත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අධිකරණය විසින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගයට එරෙහිව යම් විරෝධතාවක් ඇත්නම් එකී විරෝධතා මේ මස 26 වැනි දිනට පෙර ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාට නියම කළ අභියාචනාධිකරණය සැප්තැම්බර් මස 28 වැනි දින හා ඔක්තෝබර් මස 2 වැනි දින මෙම පෙත්සම යළි කැඳවීමද දින නියම කළේය.

නිකුත් කරන ලද තහනම් නියෝගයේ පිටපත් කොළඹ මහෙස්ත්‍රාත්වරයාට හා කොළඹ මහාධිකරණ විනිසුරුවරයාට යවන ලෙස අභියාචනාධිකරණ ලේඛකාධිකාරිවරයාට නියම කළ අතර ඒ අවස්ථාවේදී නීතිපතිවරයා නියෝජනය කරමින් එකී අධිකරණ හමුවේද මෙම නඩුව සම්බන්ධයෙන් පෙනී සිටින ජේ‍යෂ්ඨ රජයේ නීතිඥ ජානක බණ්ඩාර මහතා එම කරුණු එකී විනිසුරුවරුන් හට දැනුම් දීමට භාරගනු ලැබීය.


කමල් මහේන්ද්‍ර වීරරත්න