දිවයින පුරා විසිරී ජීවත් වන මුස්ලිම් ජනතාව ගොනු කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ශ්‍රී ලංකා පොදුජන මුස්ලිම් පෙරමුණ නමින් අනුබද්ධ සංවිධානයක් ගොඩනගා තිබේ.

  සියලු දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි ශ්‍රී ලංකා පොදුජන මුස්ලිම් පෙරමුණේ ජාතික මෙහෙයුම් කමිටුව ස්ථාපිත කර තිබෙන අතර, සතියක් ඇතුළත සෑම දිස්ත්‍රික්කයක් තුළම දිස්ත්‍රික් මෙහෙයුම් කමිටු ස්ථාපිත කිරීමට එහි නායකයන් සැලසුම් කර ඇත. මාසයක් තුළදී මුස්ලිම් ජනතාව ජීවත් වන දිවයිනේ සියලු ග්‍රාම සේවා වසම්

තුළ මෙහෙයුම් ශාඛා පිහිටුවීමට සැලසුම් කර තිබෙන අතර, ශ්‍රී ලංකා පොදුජන මුස්ලිම් පෙරමුණ බිහිකර ගැනීම සඳහා පසුගියදා පැවැති මුලික සාකච්ඡාවට එක්වෙමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සඳහන් කළේ, මෙරට දැවැත්තම මුස්ලිම් පෙරමුණ වශයෙන් ශ්‍රී ලංකා පොදුජන මුස්ලිම් පෙරමුණ ගොඩනගන බවයි.

ඒකාබද්ධ විපක්‍ෂයට සම්බන්ධ පාර්ලිමේන්තු කණ්ඩායමේත්, පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රී කණ්ඩායමේත් උපරිම සහයෝගය මේ සඳහා ලබා ගන්නා බවද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය. මෙම බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මෙම විශේෂ රැස්වීමට දිවයින්නේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ප්‍රාදේශීය මුස්ලිම් නායකයෝ 500කට අධික පිරිසක් සහභාගි වී සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්‍ෂ මහතා,

"රට වටේම ඉන්න මුස්ලිම් ජනතාව නිරන්තරයෙන්ම අපට  කිව්වේ අපේ සහෝදරත්වය බාර ගන්න කියලා. අපි මේ සුදානම් වෙන්නේ මුස්ලිම් ජනතාවගේ අන්න ඒ සහෝදරත්වය බාරගන. අපේ පාර්ලිමේන්තු කණ්ඩායමේත්, පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රී කණ්ඩායමේත් උපරිම සහයෝගයෙන් මේ රටේ දැවැත්තම් මුස්ලිම් පෙරමුණ විදයට ශ්‍රී ලංකා පොදුජන මුස්ලිම් පෙරමුණ අපි ගොඩනගනවා, 1951 දී ශ්‍රී ලංකා නිදහස් පකෂය පටන් ගන්න වෙලාවේ බදියුදීන් මහමුද් මහත්තයා, එස්.එම්. මරික්කාර් මහත්තයා එකතු වෙලා ගොඩනගපු ජාතික බලවේගයටත් එහා ගිය බලවේගයක් අපි ගොඩනගනවා. මේ රටේ මුස්ලිම් ජනතාවට තමන්ගේ ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවන් රැකගෙන තමන්ගේ ජීවනෝපායන් කරගෙන සතුටින් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් රටක් ගොඩනැගීමේ වගකීම අපි බාර ගන්නවා. අපි මේ ගොඩනගන්නේ කිසිදු බලවේගයකට කඩන්න බැරි, බිදින්න බැරී ශක්තිමත් සහෝදරත්වයක්”

 යනුවෙන් පවසා සිටියේය.