ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ අධික්‍ෂණ නිලධාරීයාගේ කාමරයේ මාස කිහිපයක සිට සඟවා තිබු ලිපි දහස් ගණනක් අඩංගු තැපැල් මලු තොගයක් ඊයේ (17දා) දකුණු පළාත් නියෝජ්‍ය පෝස්ට් මාස්ටර් ජනරාල්වරිය සහ ගාල්ල ප්‍රාදේශීය තැපැල් අධිකාරීවරිය විසින් සොයා ගෙන තිබේ.

 මෙම කාමරයට

වෙනත් බාහිර පුද්ගලයන්ට ඇතුළු වීමට නොහැකි අතර ඇතුළු විය හැක්කේ අධීක්‍ෂණ නිලධාරීවරුන්ට පමණි. ඊයේ පෙරවරුවේ හදිසියේම එම නිලධාරිනියන් දෙදෙනා ඇතුළු තවත්
උසස් නිලධාරීන් කිහිප දෙනෙකු මෙම කාමරයට පැමිණ පරික්‍ෂණ කිරීමේදී මෙම තැපැල් මලු සොයාගෙන තිබේ. එහිදී විදේශ රටවල සිටින  පුද්ගලයන් විසින් මෙරට සිටින ඥාතීන්ට එවන ලද ලිපි සහ පාර්සල් රැසක් කඩා තිබීයදී සොයාගෙන ඇති අතර, ඊට අමතරව පසුගිය මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ ඇමතිවරුන් දෙදෙනෙකු විසින් ඡන්දදායකයන් වෙත යැවීමට. බාරදන ලද ලිපි දහස් ගණනක් තිබූ  බවද තැපැල් සේවකයෝ පැවසුහ.

තැපැල් සේවකයන් පැවසුවේ, දීර්ඝ කාලයක් තිස්සේ විදේශ රටවලින් ලැබෙන ලීපි කැඩීමේ ජාවාරමක් පවත්වාගෙන ගොස් ඇති අතර, ඒ සම්බන්ධයෙන් කරන ලද නිර්නාමික පෙත්සම් අනුව මෙම හදිසි වැටළීම කර ඇති බවයි. මේ පිළිබදව ගාල්ල ප්‍රාදේශීය තැපැල් අධිකාරී බුද්ධිකා ද සිල්වා මහත්මියගෙන් දුරකථනයෙන් විමසු විට සඳහන් කළේ, එවැනි සිද්ධියක් වාර්තාවී තිබෙන අතර පරීක්‍ෂණ පවත්වමින් සිටින බවය.