නාමික විපක්‍ෂ නායකයකු ලෙස සිටින ආර්. සම්බන්ධන් මහතා ඉවත් කර පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා පත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවේ විපක්‍ෂය නියෝජනය කරන සිය මන්ත්‍රීවරුන් හැත්තෑ දෙනාගේ අත්සනින් යුතු ලිපියක්‌ කථානායක කරු ජයසූරිය මහතාට භාර දීමට ඒකාබද්ධ
විපක්‍ෂය තීරණය කර තිබේ.
 ආර්. සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ලෙස පිළිගත නොහැකි බව සහ ඔහු විපක්‍ෂ නායක ධුරය දැරීම පිළිබඳ තමන්ට කිසිදු විශ්වාසයක්‌ නොමැති බව පවසමින් ඉදිරි සතියේ පැවත්වෙන පාර්ලිමේන්තු රැස්‌වීමේදී කතානායකවරයාට මෙම ලිපිය

භාරදීමට නියමිතය.

 රජය මෙතෙක්‌ කලක්‌ ඉදිරිපත් කළ රටට වැදගත් කිසිම පනතක්‌ සම්බන්ධයෙන් විවේචනයක්‌ නොකළ ලෝකයේ සිටින එකම විපක්‍ෂ නායකයා ආර්. සම්බන්ධන් මහතා බවද ජී. එල්. පීරිස්‌ මහතා පැවසීය.

 ඔහු විරුද්ධ පක්‍ෂයේ නායකයා වුවත් රජය වසර තුනක්‌ අයවැය ඉදිරිපත් කරද්දී කිසිදු සංශෝධනයකින් තොරව අත උස්‌සා සහයෝගය දුන් බවද අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයේදීත් රනිල් වික්‍රමසිංහ මහතා ආරක්‍ෂා කිරීමට ඔහු කළ හැකි සියල්ල කළ බවත් පීරිස්‌ මහතා පැවසීය.

 එනිසා ඔහු විපක්‍ෂයේ නායකයා නොවන අතර පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්‍ෂයේ සිටින 70 දෙනා අතරින් නියම විපක්‍ෂ නායකයා තෝරා ගන්නා ලෙස ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් 70 දෙනා සිය ලිපිය මගින් කථානායකවරයාගෙන් ඉල්ලා ඇතැයි ජී. එල්. පීරිස්‌ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 අද රටේ ජනමතය පාර්ලිමේන්තුවේදී පිළිබිඹු නොවන බව පැවසූ ජී. එල්. පීරිස්‌ මහතා ඒකාබද්ධ විපක්‍ෂයට නායකත්වය දෙන මහින්ද රාජපක්‍ෂ මහතා අද එහි කටයුතු මෙහෙයවීමේ වගකීම පවරා ඇත්තේ දිනේෂ් ගුණවර්ධන මහතාට බවද පැවසීය.