දේශපාලන බවලතියකට අයත් මිහින්තලය පොලිස් වසමේ පිහිටි වත්තකින් පොල්ගෙඩි තිහක් කැඩු පාසල් සිසුන් සිවු දෙනෙකු අල්ලා ගැනීමට උසස් පොලිස් නිලධාරියෙකුගේ නියෝග මත පොලිස් නිලධාරීන් 25 දෙනෙකු යැවීමේ පුවතක් මිහින්තලය පොලිස් වසමෙන්
වාර්තා විය. පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන බවලතියකට අයත් මිහින්තලය, කලත්තෑව ප්‍රදේශයේ පිහිටි ඉඩමකට අනවසරයෙන් ඇතුළු වූ පාසල් සිසුන් සිව් දෙනෙකු මිට දින හතරකට පමණ ඉහතදී කුරුම්බා හා පොල් ගෙඩි තිහක ප‍්‍රමාණයක් කඩා ගෙන ගොස් ඇති බව සැලවුණු ඇය වහාම සැකකරුවන් පොලිස් අත්අඩංගුවට ගන්නා ලෙස ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකුට නියෝග කර තිබේ.

 කෝපයට පත්ව සිටි ඇය තරමක් උස් හඬින් කතා කරමින් කළ නියෝගයකට එක් සැනින් ක්‍රියාත්මක වූ උසස් පොලිස් නිලධාරියා කලත්තෑවේ පිහිටි

පොල්වත්තෙන් පොල් කැඩු පිරිස වහාම අත්අඩංගුවට ගන්නා ලෙස මිහින්තලය පොලීසියට නියෝග කර තිබුනි.උසස් පොලිස් නිලධාරියාගේ නියෝගයට අනුව මිහින්තලය පොලීසියේ නිලධාරීන් 25 දෙනෙකු අදාළ ස්ථානයට ගොස් පරීක්ෂණ අරඹා බවලතියගේ පොල් කැඩු පිරිස පාසල් සිසුන් බව අනාවරණය කරගෙන පොල් ගෙඩි 15ක් සමග ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.

 බවලතියගේ වත්තේ පොල් කැඩු පිරිස බාලවයස්කාර පාසල් සිසුන් පිරිසක් බව මිහින්තලය පොලීසිය අදාළ උසස් නිලධාරියාට දන්වා ඇති අතර ඔහු විසින් ඒ බව ඇයට දන්වා තිබේ. පාසල් සිසුන් පිරිසක් නම් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය නැති බව බවලතිය උසස් පොලිස් නිලධාරියාට දන්වා තිබේ.  නමුත් පාසල් සිසුන් සිව්දෙනා ඇගේ නිවසට යවා සමාව අයැදීමට කටයුතු කරවන ලෙස උසස් නිලධාරියා පරීක්ෂණ සිදුකළ පොලිස් නිලධාරියාට දැන්වූ අවස්ථාවේ එය කිසිසේත්ම ඉටුකළ නොහැකි බව එම නිලධාරියා පෙරලා උසස් නිලධාරියාට පවසා තිබේ. “සර් ඔය ළමයි එතන්ට ගියාම ඔතන ඉන්න කෙනෙක් නිකමට හරි ගැහුවොත් මට තමයි ප්‍රශ්නය එන්නේ. ඔය ඉල්ලීම ඉල්ලන්න එපා මම මේ ළමයින්ව උසාවියට දාන්නම්”

යනුවෙන් එම නිලධාරියා උසස් නිලධාරියාට පැවැසු බව අනාවරණය විය.

 පසුව පාසල් සිසුන් සිව් දෙනාව අධිකරණයට ඉදිරිපත් කිරීම අනවශ්‍ය බව බවලතිය පැවසීම නිසා දරුවන්ගේ දෙමාපියන් එහි යවා සිදු වූ වරදට ඇයගෙන් සමාව ඉල්ලිමට කටයුතු කර තිබුණි. දරුවන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ඔවුන්ට තරයේ අවවාද කිරිමට බවලතිය කටයුතු කර තිබුණි. පොල් හොරුන් ඇල්ලීමට මිහින්තලය පොලිසියේ නිලධාරීන් 25 දෙනෙකු යෙදවීමට කිසියම් උසස් නිලධාරියෙකු උපදෙස් දුන්ද යන්න සම්බන්ධයෙන් අනුරාධපුර කොටිඨාස භාර පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු මෙසේ පැවැසුවේය.

"කවුද ඔය බොරු කියන්නේ නිලධාරියෝ විසි පහක් ගියේ නෑ. කිසිම අමාත්‍යවරයෙක් එහෙම නියෝග කළෙත් නැ. ලැබුණු පැමිණිල්ලට අනුව පරීක්ෂණ කරලා අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන සිසුන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත්තා. ඔවුන් මුදා හරින්න පැමිණිලි අවශ්‍ය නෑ කියලා මට උපදෙස් ලැබුණා. මේ ළමයි මත්ද්‍රව්‍ය බොන්න ඇබේබැහිවෙලා ඉන්නේ. පිවිසුම් වහලා තියන වත්තකට ඇතුළු වෙලා හොරකම් කරා කියලා පැමිණිළි ලැබුණාම අපි නිකන් ඉන්න ඕනද? ඕයාලා නැති ප්‍රශ්න ඇති කරනවා." යනුවෙන් ඒ මහතා පැවැසුවේය.