ශාන්ත ලුසියාහි පැවැති දෙවැනි ටෙස්ට් තරගය අවසන් දිනයේ (18දා) රාත්‍රි සමාජ ශාලාවකට ගොස් විනෝද වූ ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ සිටි දඟපන්දු යවන්නකු වන ජෙෆ්රි වැන්ඩර්සේ පසුදා උදෑසන වන තෙක්ම නැවත
නවාතැන් ගෙන සිටි හෝටලයට නොපැමිණීම හේතුවෙන් ඊට දඬුවමක් ලෙස ඔහු නැවත ලංකාවට යවා ඇත.

වැන්ඩර්සේ සමඟ තවත් යොවුන් ක්‍රීඩකයන් සිවුදෙනකු එදින රාත්‍රී එහි සමාජ ශාලාවකට ගොස් විනෝදයෙන් කාලය ගතකර තිබුණද වැන්ඩර්සේ හැර ඉතිරි ක්‍රීඩකයන් එදින රාත්‍රියේම තමන් සිටි හෝටලය වෙත පැමිණුනද පසුදා (19දා) උදෑසන

ශ්‍රී ලංකා කණ්ඩායම බාබෙඩෝස් බලා යෑම සඳහා ශාන්ත ලුසියා ගුවන් තොටුපොළට යෑමට සූදානම්ව සිටින විටත් වැන්ඩර්සේ පැමිණ සිටියේ නැති බවද පැවැසේ. එම නිසා ශ්‍රී ලංකා කළමනාකරුවා වැන්ඩර්සේගේ නොපැමිණීම පිළිබඳව පොලිසිය වෙතද දැනුම් දී තිබූ බවද දැනගන්නට ලැබුණ අතර අවසන් මොහොතේ කණ්ඩායම රැගෙන යන බසය ගුවන් තොටුපොළට යෑමට සුළු මොහොතකට පෙර වැන්ඩර්සේ පැමිණ තිබුණි.

නවාතැන් ගෙන සිටි හෝටලය සොයා ගැනීමට අපහසු වී ප්‍රමාද වූවා යැයි ඒ මොහොතේ අවතැන් වූ වැන්ඩර්සේගේ පිළිතුර වූ බව පැවැසෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයන් මෙම සංචාරයේදී මෙසේ රාත්‍රි සමාජ ශාලාවලට ගොස් මැදියම් රාත්‍රිය තෙක් කාලය ගතකර ඇති බවද දැනගන්නට ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිවේදනයකද සඳහන් වන්නේ විනය විරෝධී ලෙස හැසිරෙමින් ක්‍රිකට් ආයතනය සමඟ ඇති ගිවිසුම උල්ලංඝනය කළ බැවින් වැන්ඩර්සේ යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගත් බවයි.