සෞදි අරාබිය තුළ කාන්තාවන්ට රිය පැදවීමේ අයිතිය දශක කිහිපයකට පසුව තව නොබෝ දිනකින් හිමිවීම මූලික කරගනිමින් එරට කාන්තාවන් සඳහා ප්‍රථම වරට රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ඇරඹී තිබේ.



ඒ අනුව, සෞදි අරාබිය පුරා නගරවල කාන්තාවන් තම රියදුරු බලපත්‍ර ලබාගැනීම සඳහා සඳුදා දිනයේදී සැදී පැහැදී සිටි බව විදෙස් වාර්තා පවසයි.

කාන්තාවන්ට රිය පැදවීම තහනම් කරමින් පැවති නීතිය මෙම ජුනි මස 24දා ඉවත්වීමට නියමිතව තිබුණත්, කාන්තාවන් රිය පුහුණුවන අවස්ථාවේදී පවා විවිධ තාඩන පීඩනවලට ලක්වූ අවස්ථා එරට කාන්තා සංවිධාන විසින් ඉස්මතු කර තිබේ.


කෙසේ වෙතත්, තහනම ඉවත් කිරීමත් සමග රියදුරු බලපත්‍ර ලබාගැනීම සඳහා කාන්තාවන් විශාල පිරිසක් ඉල්ලුම කරනු ඇති බව සඳහන් වෙයි.

සෞදි අරාබියේ නීති පද්ධතිය තුළ කාන්තාවන්ට තම ජීවිතයේ බොහෝ තීන්දු තීරණ ගැනීමේදී පුරුෂයෙකුගේ අවසරය අවශ්‍ය වෙයි.

සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු විසින් එරට තුළ කාන්තාවන්ටද අයිතිවාසිකම් ලබාදීමේ මෙම විප්ලවය සිදුකරමින් සිටියි.

ඔහු පසුගියදා කාන්තාවන්ට පාපන්දු තරග නැරඹීමට පැමිණීමේ අවස්ථාවද ලබාදෙන ලද අතර, මේ දක්වා තෙල් සම්පතින් වැජඹෙන සෞදි ආර්ථිකය වර්ෂ 2030 දී විවිධාංගීකරණයකට ලක්කිරීම ඔහුගේ මූලික වෑයම වී තිබේ.