මේක කවුරුත් නොදන්නා රහසක්, හැබැයි මේ රහස කවදා හරි හෙළි කරන්න ඕනෑ කියලා මගේ හිත කිව්වා.  මෙන්න මේකයි රහස මටම ආවේණික වචන කීපයක් තුළින් මම මගේ හැඟීම් ප්‍රකාශ කරන්න පුරුදු වෙලා
ඉන්නවා. ඒ ගැන මම තවත් ටිකක් පැහැදිලි කරන්නම්. "බුදු අම්මෝ "මගේ දෙයියෝ" "බුදු සන්තෝ" වගේ වචන අපි කොයි කවුරුත් පාවිච්චි කරනවනේ. අවස්ථා යෙදෙන හැටියට තමයි එක් එක් අය ඒ වවන පාවිච්චි කරන්නේ. මමත් මේ වවන පාවිච්චි කරනවා. හැබැයි ඒක අනිත් අයට වඩා ගොඩාක් වෙනස් ඒ කියන්නේ මගේ කේන්තිය පිට කරන උපරිම අවස්ථාවකදී තමයි මම මේ වචන පාවිච්චි කරන්නේ.

   ඕනම කෙනෙකුට තමන් එක්ක ප්‍රශ්නයක් ඇති වුණාම මුලින්ම ඒ ගැන සුහදව සාකච්ඡා කරනවා. ඒ විදියට ප්‍රශ්නය විසඳා ගන්න බැරිනම්නේ සැරෙන්

අදහස් හුවමාරු කරගන්නේ. ඔය විදියට තදින් තරහ ගිය අවස්ථාවකදී උස් හඩින් අසභ්‍ය වචනත් යොදා ගෙන "එකිනෙකා බැණ ගන්නා එකනේ කරන්නේ". අන්න ඒ අවස්ථාවේදී තමයි මම අර මුලින් සඳහන් කළ වචන පාවිච්චි කරන්නේ. කොටින්ම කියනවා නම් අසභ්‍ය වවන නියෝජනය කරන මම යොදාගන්නේ "බුදු අම්මෝ", "බුදු දෙයියෝ" වගේ වචන, ඒ වචනවලින්  කෙනෙක් මෙල්ල කරන්නේ කොහොමද කියලා පාඨක පිරිසට හිතෙන්න පුළුවන්. මම ඒ වචන ප්‍රකාශ කරන්නේත් කෝපය පිරුණු උස් හඬින්. ඒ හින්දමද දන්නේ නැහැ, මගේ වචනවලට අනිත් පාර්ශ්වයත් නිශ්ශබ්ද වෙනවා.  ඒ වගේ සිදුවීම්වලට මුහුණ පෑ අවස්ථා ඕනෑ තරම් මගේ ජීවිතයේ තියෙනවා.

   පෞද්ගලික  ජීවිතයේදී වගේම, කලා ජීවිතයේදීත් ඔය වගේ අවස්ථාවලට මුහුණ දීලා තියෙනවා. කලා ජීවිතයේදී දවසක හරි අපූරු සිදුවීමක් වුණා. එය සිදුවුණේ ටෙලි නාට්‍යයකට චිත්‍රපටයකද කියලා නම් කියන්න බැහැ. හැබැයි මේක සිදුවුණේ එක්තරා ප්‍රේම ජවනිකාවක් රූගත කරද්දී. සාමානයෙන් ඒ වගේ අවස්ථාවල වැළඳ ගන්න සිප ගන්න පවා සිදුවෙනවා. ඒක සාමාන්‍ය දෙයක්නේ. ඒත් ඉතින් අධ්‍යක්‍ෂවරයා කට් කිව්වට පස්සේ ඉන් එහාට අපි කවුරුත් යන්නේ නැහැ. දැන් ඔන්න මේ නිර්මාණයත් අදාළ ප්‍රේම ජවනිකාව රූගත කෙරුණා. අදාළ නළුවා හා මම ඉතා සාර්ථකව ජවනිකාවට පෙනී සිටියා. අධ්‍යක්‍ෂවරයා "කට්" කිව්ව හැටියේ මම රඟපෑම නතර කළා. ඒත් අදාළ නළුවාට ඒක අමතකයි. ඔහු දිගටම මාව අල්ලගෙන සිප ගන්නවා. ඒ වේලාවේ මට ටිකක් කේන්ති ගියා. "බුදු අම්මෝ මට නම් තවත් ලව් කරන්න බැරියෝ" කියලා මම මහා හයියෙන් කෑ ගැහුවා.

   එතකොට ඒ නළුවා වහාම මගෙන් මිදුනා. ඒ නළුවට වගේම එතැන හිටපු හැමෝටමත් ඒ වේලාවේ. මගේ වෙනස තේරුවා.

ඔය වගේ අවස්ථා ගොඩාක් තියෙනවා. ඒත් ඉතින් මගේ මේ වචන  මාලාව කෝපය පිට කරන වදන් පෙළක් කියලා දන්නේ නැහැනේ අනිත් අය. ඒ නිසා ඒ වචනවලින් නොනවතින අයත් ඉන්නවා. ඒ වෙලාවට ඉන් එහා වචන පාවිච්චි කරන්න පවා සිදුවනවා. ඒවා අසභ්‍ය වචන වෙන්නත් බැරි නැහැ.

    ඒ වගේ සිදුවීම් අතර ප්‍රබල එකක් තමයි මේ. එදත් මම එක්තරා නිර්මාණයක රූගත කිරීම්වලට ගියා. එහි අධ්‍යක්‍ෂවරයා මම ගරු කළ කෙනෙක්. ඒත් ඔහු අනවශ්‍ය විදියට මගේ සිරුර මතු කර හදන බව මට වැටහුණා. සාරියක් ඇන්දත් බඩ පෙන්න අදින්නමයි කියන්නේ. මට තේරුණා කතාවේ චරිතය අනුව එහෙම කරන්න අවශ්‍ය නැහැ කියලා. මේක හිතා මතා කරන දෙයක් බවත් මට තේරුණා. මේ කියන අධ්‍යක්ෂවරයාට ඔය ගැන කීප වතාවක් හොදින් පැහැදිලි කරලා බැරි තැන මම මගේ සුපුරුදු වචන මාලාවට ආවා.

 "බුදු අම්මෝ බුදු දෙයියෝ මේ සීන් එකට මම මෙහෙම, ඉන්න අවශ්‍ය නෑ.... මට ඒක බෑ"කියලා උස් හඬින් කියන්න පටන් ගත්තා.  ඒත් ඔහු නවතින පාටක් නෑ. එදත් මගේ සිරුර අනිසි විදියට මතු කරවන්න ඔහුට වුවමනා වුණා. පුරුදු වචන යොදලා මම ඊට විරුද්ධ වුනා. "ඩෙනිම් ඇඳලා ඔකොම එළියේ දාගෙන එන්න පුළුවන්. කැමරාව ඉස්සරහ කකුලක් පෙනෙන කොට තමයි මෙවර අමාරු...."

  දර්ශන තලයේ හිටපු තිහක් හතළිහක් පමණ පිරිස ඉදිරියේ ඔහු කිවිවේ හැමෝටම ඇහෙනයි. ඒ වෙද්දී මගේ ඉවසීමේ සීමාවත් පැනලයි තිබුණේ. මමත් මහ හඩින් හොඳම වචන කියලා ඔහුට උත්තර දුන්නා. හොඳ වෙලාවට ඔහු ඉංග්‍රීසි දන්නවා. ඒ හින්දා ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද ඒ වේලාවේ මම මහ හයියෙන් කෑ ගහලා "සුද්ද සිංහල" ටිකක් කිව්වේ ඉංග්‍රීසි භාෂාවෙන්.