සැකකරුවකුට ඇප ලබා ගැනීම සඳහා අතිරේක මහෙස්ත්‍රාත් වෙත ව්‍යාජ ලේඛනයක් ඉදිරිපත් කළේ යැයි කියන චෝදනාවට වරදකරු කළ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණ පොලිස් මුරපොළේ හිටපු පොලිස්
ස්ථානාධිපතිවරයාට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිරදඬුවම් හා දඩ මුදල් නියම කළේය.

උප පොලිස් පරීක්ෂක එච්.එම්. සරත් බිබිල නමැත්තාට මෙසේ දඬුවම් නියම විය. සිරදඬුවමට අමතරව විත්තිකරුට රුපියල් 2,500ක

දඩ මුදලක්ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවොත් අමතරව මාස 3ක ලිහිල් සිරදඬුවමක් නියම කරන බවද තීන්දු කළේය.  2008 වසරේ ජූලි මස 21 වැනිදා මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේ පොලිස් මුරපොළේ
ස්ථානාධිපති ලෙස කටයුතු කරමින් සිටියදී සැකකරුවකට ඇප ලබා ගැනීමට අදාළව මෙම විත්තිකාර පොලිස් නිලධාරියා විසින් එම අධිකරණයේ අතිරේක මහෙස්ත්‍රාත් වෙත වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කර තිබේ.

මහෙස්ත්‍රාත්වරයා විසින් පසුව සිදුකරන ලද  විමර්ශනවලදී අදාළ වෛද්‍ය සහතිකය ව්‍යාජ ලෙස සකසන ලද කූට ලේඛනයක් බවට අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා විසින් අධිකරණ හමුවේ ගොනු කළ අධිචෝදනා පත්‍රයේ සඳහන් විය. දිර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව  ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විත්තිකරුට එරහිව පැමිණිල්ල එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් ඔබ්බට සනාථ වී ඇතැයි ප්‍රකාශ කළේය.