මහරගම පොලිස් වසමේ ගම්මාන කිහිපයක නිවෙස්වලට, දැනට දින පහළොවක පමණ කාලයක සිට, පාන්දර දෙකට, තුනට පමණ ඇතුළුවී නිදාගෙන සිටින කාන්තාවන්ගේ ඇඟ අත පත ගාන සලෙළුන් පොලිස් අත්අඩංගුවට ගැනීමට, මහරගම පොලිසිය මෙතෙක් අසමත්ව සිටින බැවින්, මෙම දිනවල රාත්‍රි කාලයේ නොනිදා බියෙන් තැතිගෙන රැය පහන් කිරීමට තමන්ට සිදුව ඇතැයි, එසේ අතවරවලට ලක්වූ  කාත්තාවන් කිහිප දෙනකු පවැසූහ.

පන්සල පාරේ සහ කැන්දහේන

ප්‍රදේශයේ පසුගිය 15 වැනි දින මෙම අතවරයට ලක්වූ කාන්තාවන් කිහිපදෙනෙක්, දෙපානම ධර්මපාල විද්‍යාලයේ මැයි 20 වැනි දින සිට පිහිටුවා තිබෙන "ගමේ පොලිසියට" මේ බව පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේදී එම පැමිණිලි භාර ගැනීමට තමන්ට නොහැකි බැවින්, මහරගම පොලිසියට ගොස් පැමිණිලි කරන ලෙස එහි සිටි පොලිස් නිලධාරීයා තමන්ට පැවැසු බවද  ඔවුහු කියා සිටියහ.  ඒ අනුව තමන් මහරගම පොලිසියට ගොස් විනාඩි හතළිස් පහක පමණ කාලයක් ගත කළද, කිසිදු පැමිණිල්ලක් තමගෙන් ලබා නොගත් බවත්, දුරකථන අංකය ලබාගෙන එදින සවස්වරුවේ තමන්ගේ නිවෙස්වලට පොලිසිය පැමිණ කරුණු විමසා සිටි බවත් අතවරයට ලක්වූ කාන්තාවෝ ප්‍රකාශ කළහ.

තමන්ට සිදු වූ අතරවරය ගැන මහරගම පොලිසියේ අදාළ පොලිස් නිලධාරියා ප්‍රකාශ කළ මොහොතේ
" ඇඟවල් අතපත ගෑවාම මොකද වෙන්නේ" යනුවෙන් ඒ අසල සිටි  එක් පොලිස් නිලධාරියකු කියනු තමන්ට ඇසුණු බවද එම කාත්තාවෝ ප්‍රකාශ  කරති. මෙම සලෙළුන්ගේ  ආරක්ෂකයා ව සිටින්නේ එම පොලිස් නිලධාරියා ද යන්න තමන්ට ඒ අවස්ථාවේ සැකයක් උපන් බවද ඔවුහු කියති. මහරගම පොලිස් ස්ථාන භාර නිලධාරී, ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.එෆ්. මීඩින් මහතාගෙන් මේ සම්බන්ධ ප්‍රශ්න කිරීමේදී ඔහු ප්‍රකාශ කර සිටියේ එසේ පැමිණිලි භාර ගැනීම ප්‍රතික්ෂේප කළ නොහැකි බවත්, මෙම දිනවලට  රාත්‍රි කාලයේ කොට්ටාව  පොලිසිය සමඟ එක්ව වැටලීම් කිහිපයක්ම සිදුකළ නමුත් සැකකරුවන් පොලිස් අත්අඩංගුවට ගැනීමට මෙතෙක් තමන්ට නොහැකි  වූ බවත්ය.