සිර දඬුවම් නියම වීමෙන් අනතුරුව බන්ධනාගාරය වෙත රැගෙන ආ ගලගොඩ අත්තේ ඥාණසාර හිමි සිය පැවිදි වස්ත්‍ර ඉවත්කොට ජම්පරය ඇඳීම ප්‍රතික්ෂේප කොට තිබෙන බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරනවා.

තම පැවිදි වස්ත්‍ර උනා දමන්නට සැරසෙන්නේනම් උපවාසයක නිරතවන බවයි උන්වහන්සේ පවසා ඇත්තේ.

අනතුරුව අඳනය ඉවත් නොකාට චීවරය පමණක් ඉවත් කර ඒ වෙනුවට, උන්වහන්සේම රැගෙන ආ සුදු රෙද්දක් පොරවාගෙන සිටින බවයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසුවේ.


බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට මාස හයකින් ගෙවී යන ලෙස බරපතල වැඩ සහිත වසරක සිර දඩුවම් අද (14) නියම කළේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට හෝමාගම අධිකරණය තුලදී මරණීය තර්ජන එල්ල කිරීමේ චෝදනාවට වරදකරු කරමින්.

ඒ, හෝමාගම මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු උදේශ් රණතුංග විසින්.

ඊට අමතරව ඥාණසාර හිමියන්ට රුපියල් තුන්දහසක දඩයක් නියම කළ මහේස්ත්‍රාත්වරයා ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට රුපියල් පනස් දහසක වන්දියක් ගෙවන ලෙසද නියෝග කළා.