නාවලපිටිය රෝහලේ වෛද්‍යවරියක ලෙස සේවය කරන තිදරු මවක වන තම බිරිය හා අනියම් පෙමින් බැඳුණ ළාබාල අවිවාහක එම රෝහලේම වෛද්‍යවරයෙකු වාහනයක නැගී සොර ගමනක් යද්දී කෝපය ඉහවහාගිය එම රෝහලේම තවත් වෛද්‍යවරයෙකුවූ සැමියා එම වාහනය පසුපස ලුහුබැඳගොස්
හප්පා මරණ තර්ජන කිරීමේ සිද්ධියක් පසුගියදා අධිකරණයේදී විභාග විය.
අනියම් පෙම් පළහිලව්වට භාජනය වූ වෛද්‍යවරුන් තිදෙනාම එකම රෝහලේ එකම කාර්යාලයේ සුහදව කටයුතු කරමින් සිටි අයයි. රෝහලේ දීර්ඝ කාලයක් සේවය කරමින් සිටින  47 හැවිරිදි වෛද්‍යවරයාගේ 44 හැවිරිදි බිරිය

මෑතක සිට පත්වීමක් ලැබ  එම රෝහලට පැමිණි බව කියන අවිවාහක බාල වයස්කාර වෛද්‍යවරයකු සමග අනියම් පෙමක් ගොඩනගාගෙන ඇති බව සැලවීමෙන් පසු ඔවුන් යන එන තැන් ගැන 47 හැවිරිදි වෛද්‍යවරයා ඇස ගසාගෙන සිට තිබේ.

 ඒ අනුව තමන්ට ආරංචි වූ දේවල් සත්‍ය බව වැටහී ඇත්තේ පසුගිය සතියේ කාර්යාල වේලාවේ හොර ගමනක් යන බව අතටම අසුවීමෙනි.
අනියම් පෙම්වතා සමඟ මෝටර් රථයකින් ගමන් කරනවා දුටු සැමියා තම මෝටර් රථයද පණගන්වාගෙන එම යුවළ ගමන් ගත් මෝටර් රථය පසුපස ගොස් තිබෙන අතර  එය හප්පා අනියම් පෙම්වතාට මරණ තර්ජනය කර තිබේ.

මෙම ආරවුල එතැනින් නිම කරන්නට අකමැතිවූ තරුණ වෛද්‍යවරයා තමාට මරණ තර්ජන කළැයි සැකකාර වෛද්‍යවරයාට එරෙහිව පොලිස් පැමිණිල්ලක් කිරීම සමග සියල්ල ප්‍රසිද්ධ විය.
අධිකරණයට ඉදිරිපත් කළ 47 හැවිරිදි වෛද්‍යවරයා රුපියල් දසදහසක මුදල් ඇප හා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නාවලපිටිය මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා නියම කළේය.

තිදෙනා අතර අනියම් ඇසුර සම්බන්ධයෙන් වරින් වර ආරවුල් කිහිපයක් ඇතිවූ බවද නාවලපිටිය පොලිසිය වාර්තා කර තිබේ.
වෛද්‍ය බිරියට වැඩිවියට පත් දියණියන් දෙදෙනකු  හා 13 හැවිරිදි බාල පුතකුද සිටින බවත් ඔවුන් අමතක කර අනියම් පෙමට වසඟවී තරුණ වෛද්‍යවරයා සමග සමීප ඇසුර පවත්වා ඇති බවටද කරුණු අනාවරණය විය.