නිවසින් අතුරුදන්ව සිටි වීරකැටිය පොලිසියට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරයෙකුගේ මළ සිරුර පෙරේදා(14) පෙරවරුවේ වීරකැටිය සිරිකඳුර වත්තේ ලදු කැලෑවක තිබී සොයාගත් බව වීරකැටිය පොලිසිය පවසයි. මියගොස් ඇත්තේ වීරකැටිය පොලිස් වසමේ ගුරුගොඩෙල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 52 වියේ පසුවූ ආරියදාස හෙට්ටිආරච්චි නමැති තිදරු පියා බව පොලීසිය පවසයි.

   මියගොස් ඇති පොලිස් නිලධාරියා ඉකුත් 09 වැනි දින සිට අතුරුදන්ව
ඇතැයි  පවුලේ ඥාතියෙකු වීරකැටිය පොලීසියට පසුගිය 11 දින පැමිණිලි කොට තිබූ බවද පොලිසියට පවසයි. ආසන්නයේම ඇති මාර්ගයේ ගමන් කරන්නෙකුට අසල පිහිටි ලදු කැලෑවෙන් දුගඳක්  හමනු දැනී ඒ ගැන විපරම් කිරීමෙන් අනතුරුව මෙම මළ සිරුර දැක ඇති බවත් අනතුරුව

මෙම මළ සිරුර දැක ඇති බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.

   වීරකැටිය පොලීසිය කළ මූලික පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත්තේ  අතුරුදන්ව ඇති කොස්තාපල්වරයාගේ මළසිරුර මෙම ලදු කැලෑවේ ඇති බවයි. වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්  දයාරත්න වීරසිංහ මහතා මහේස්ත්‍රාත්පරීක්ෂණය සිදු කළේය. වැඩබලන මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේ මිය ගිය අයගේ මළසිරුර හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කොට මරණය පිළිබඳ වාර්තතාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

   තංගල්ල අපරාධ පරීක්‍ෂණාගාරයේ උ.පො.ප. බණ්ඩාර මහතා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් ස්ථානීය පරීක්‍ෂණය සිදු කළහ. මියගොස් ඇති පොලිස් නිලධාරියා කිසියම් රෝගි තත්වයකට ප්‍රතිකාර ලැබූ අයෙකු බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම වීරකැටිය පොලිසියේ ස්ථානාධිපති රසික සම්පත් මහතාගේ මෙහෙයවීම මත වැඩිදුර පරික්ෂණ වීරකැටිය පොලීසිය සිදුකරයි.