කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයේ සීදුව ලීයනන්මුල්ල ප්‍රදේශයේදී පසුගිය 5 වැනිදා අලුයම 1.15ට පමණ මාර්ගයේ දකුණු පස මංතීරුවේ වැටී සිටි පුද්ගලයකු අධික වේගයෙන් පැමිණි ටොයෝටා කේ.ඩී.එච්. වර්ගයේ
වෑන් රථයට හසුවී හිස ප්‍රදේශය ඉතා දරුණු ලෙස තුවාල වීමෙන් එම ස්ථානයේදීම මියගොස් ඇත.

   පසුව එකී වෑන් රථය නොනවත්වා ධාවනය කර අනතුරුව අස්ථාන ගතකර ඇත. නමුත් සාක්කියක් ඉතිරි වන පරිදි එම වෑන් රථයේ අංක තහඩුවේ කොටසක් කැඩී ගොස් එම ස්ථානයේ වැටී තිබූ හෙයින් එය සීදුව පොලිසියට වෑන් රථය සොයා ගැනීමට ඉතා පහසුවක්වී ඇත.

   ඒ ඔස්සේ සීදුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක චන්ද්‍රසේකර බණ්ඩාර මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස්

පරීක්‍ෂක ටී.ඒ.එල්. පෙරේරා මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහායෙන්නේ අදාළ වෑන් රථය සහ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත්වූ සැකකාර රියැදුරු 7 වැනිදා පස්වරුවේ මීගමුව අධිකරණය වෙත යොමු කෙරිණි. අනතුරට පත් තැනැත්තා ලියනක්මුල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක පැවැති ප්‍රිය සම්භාෂණයකට සහභාගි වී අලුයම රාගම තම නිවෙස කරා යමින් සිටියදී මෙලෙස අනතුරට පත්වී තිබිණි. මියගිය තැනැත්තා එක්දරු පියකු වන රාගම, ලංකා මාතා මාවතේ පදිංචි 36 වැනි වියේ පසුවූවෙකි.

    මෙම පුද්ගලයා බිම වැටී සිටි අවස්ථාවේ දැක ඇති ඒ මොහොතේ මාර්ගයේ යතුරුපැදියකින් ගමන් ගත් දෙපළක් තම යතුරුපැදිය නවත්වා වැටී සිටි තැනැත්තාව ඔසවා මාර්ගයෙන් ඉවත් කරන කටයුතු කරන අවස්ථාවේ මෙම වෑන් රථය පැමිණෙන ආකාරය එතරම් සුදුසු නැති හෙයින් ඔවුන් දෙදෙනා ඉක්මනින් මාර්ගයෙන් ඉවත් වනවාත් සමඟ එම අනතුර සිදුකර වෑන් රථය පලාගොස් ඇති බව සීදුව පොලිසිය පවසයි.