උපකාරක පන්ති එන මුවාවෙන් පැමිණ ගම්පහ නගරයේ විවිධ ස්ථානයන්හි අශෝභන අන්දමින් හැසුරුණු බවට පැවසෙන තරුණ තරුණියන් 22 දෙනෙකු පසුගියදා (05දා) පොලිස් භාරයට ගෙන දැඩි සේ අවවාද කර මුදාහැර තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ සහ ඒ අවට ප්‍රදේශයන්හි පදිංචී. අවුරුදු 18 - 20 අතර තරුණ තරුණියන් පිරිසකි.

ගමිපහ - මිනුවන්ගොඩ නව මාර්ගය දෙපස සහ ඔරුතොට ඇවිදීමේ මංතීරුවෙහි සිටීයදී ගම්පහ පොලීසිය සහ කොට්ඨාස කාන්තා හා ළමා අපයෝජන නිවාරණ

කාර්යාංශය එක්ව කළ සෝදිසියකදී මෙම පිරිස පොලිස් භාරයට ගත් බව පරිපාලන අංශය භාර ස්ථානාධිපති ඩන්කන් ගුණවර්ධන මහතා පැවසීය. මිනුවන්ගොඩ නව මාර්ගයේ සහ ඇවිදීමේ මංතීරුවෙහි තරුණ තරුණියන් අශෝභන අයුරින් හැසිරීම හේතුවෙන් කුඩා දරුවන් සමග මහමග යා නොහැකි තත්වයක් ඇති තිබෙන බවට ප්‍රදේශවාසීන් විසින් ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතා වෙත පැමිණිලි කර ඇති අතර, ඒ අනුව සිදුකළ සෝදිසි කිරීමේදී මෙම පිරිස හසුව තිබේ.

තම දරුවන් පන්ති එන බවට පවසා පැමිණ මෙලෙස තැනින් තැන කාලය ගත කරමින් තරුණ ජීවිත විනාශ කර ගැනීම පිළිබඳව මවුපියන්ගේ අවධානය යොමු කළයුතු බවත්, යම් විනාශයක් වීමට පෙර ඉන් මුදාගැනීම පිණිස දරුවන් යන එන තැන් පිළිබඳව සොයා බලා කටයුතු කළ යුතුව ඇති බවත් පොලිස් පරීක්ෂක ඩන්කන් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.
තරුණ පිරිස් තැනින් තැන ගැවසෙන ස්ථාන දිගින් දිගටම සෝදිසි කරන අතර, මෙහිදී පොලිස් භාරයට ගැනෙන්නන් උදෙසා නීතිමය පියවර ගැනීමට සිදුවන බවද ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.