සෝභිත හාමුදුරුවෝ මා පොදු අපේක්‌ෂකයා බවට පත් කර ආණ්‌ඩුවක්‌ හදලා කිව්වේ මහ බැංකුව කොල්ලකන්න නොවේ යෑයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ පැවසීය.
 අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 76 වැනි ජන්ම දිනය වෙනුවෙන්
කොළඹ පදනම් ආයතනයේ ඊයේ (30 වැනිදා) පැවැති උත්සවයේදී මෙසේ පැවසීය.

දින සියයේ වැඩපිළිවෙළ හදපු එක තමයි මේ ආණ්‌ඩුව කරපු ලොකුම මෝඩ වැඩේ. ඔළුවක්‌ තිබුණා නම් කරන්න තිබුණේ ජනාධිපති ලෙස මා දිවුරුම් දුන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමයි.

දින සියයේ වැඩපිළිවෙළ හැදුවේ කවුද කියලවත් මම දන්නේ නැහැ. මා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ සභාපති ධුරය භාරගත් නිසා 19 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය කිරීමට හැකි වුණා. මන්ත්‍රී ධුර 225 ක්‌ තියෙන පාර්ලිමේන්තුවක එක්‌සත් ජාතික පක්‌ෂයේ මන්ත්‍රී ධුර 47 ක්‌ තියාගෙන ව්‍යවස්‌ථාව සංශෝධනය කරන්න හැකි වුණේ මා ශ්‍රී ල. නි. ප. සභාපති ලෙස පත් වූ නිසයි.


මා ජනාධිපති ලෙස දිවුරුම්දී අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ල. නි. ප. යෙන් විශ්වාසභංගයක්‌ ගේන්න සූදානම් වූ අවස්‌ථාවේ එය බේරා ගැනීමට හැකි වුණේ මා ශ්‍රී ල. නි. ප. සභාපති ධුරය භාරගත් නිසයි.

ශ්‍රී ල. නි. ප. ඇමැතිවරුන් කැබිනට්‌ මණ්‌ඩලයේ සිටි නිසා රාජ්‍ය බැංකු පෞද්ගලීකරණයෙන් බේරා ගැනීමට හැකි වුණා. රාජ්‍ය බැංකු මුදල් පෞද්ගලික බැංකුවලට නිදහස්‌ කිරීම සඳහා කැබිනට්‌ මණ්‌ඩලයට යෝජනා ගෙන එද්දී මාස 03 ක්‌ තිස්‌සේ මා ඊට විරුද්ධව කටයුතු කළා. එසේ සිදුකර එය සම්මත කර ගැනීමට ඉඩ දුන්නේ නැහැ. එසේ නොවුණි නම් ලංකා බැංකුව හෝ ජාතික ඉතිරිකිරීමේ බැංකුව හෝ මහජන බැංකුව හෝ ඉතිරි වන්නේ නැහැ.

මහින්ද රාජපක්‌ෂ මහතා ජනාධිපති ධුරයෙන් පරාජයට පත්වූ විට ඔහුට හම්බන්තොටට යැම සඳහා හෙලිකොප්ටර් දුන්නේ කවුරුන්ද කියා මා දන්නේ නැහැ.

ඒ ගැන මා විමසූ විට නිලධාරීන් පැවසුවේ ජනාධිපති ලෙස මා ඒ සඳහා උපදෙස්‌ දුන් බව දැනගන්නට ලැබුණු බවයි.

මැලේසියාවේ අගමැති මහතීර් මොහොමඩ් මහතා සහ මා සන්සන්දනය කරමින් අද  පුවත්පතක වාර්තාවක්‌ පළ කර තිබෙනවා. එහි ඇති තොරතුරු ගැන මා මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයාගෙන් විමසා සිටියා. ඔහු කිව්වා එම තොරතුරු අමූලික බොරු බව.

පොදු අපේක්‌ෂකයා ලෙස මාව තෝරා ගැනීම ගැනත් ඇතැම් දෙනා විවිධ ප්‍රකාශ කරනවා. ඒ මොහොතේ කවුරු දැම්මත් දිනනවා කිව්වා.බලු කපුටෙක් පොදු අපේක්ෂකයා ලෙස දැම්මත් දිනන බව කිව්වා. එහෙනම් ඇයි මාව තෝරා ගත්තෙ. එදා රාජපක්‌ෂලා සමඟ තරග කරන්න සිටිය සුදුසුම කෙනා මම. එදා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයෙන් මම එළියට ආවේ සිංහයෙක්‌ වගෙයි.

මම ශ්‍රී ල. නි. ප. ය විනාශ කළේ නැහැ. විනාශ වී යමින් තිබූ පක්‌ෂය රැක ගත්තා.
මම දේශපාලන දිවියේ පහළ සිට ඉහළටම ආවා. හැබැයි ජනාධිපති වී ගෙවී ගිය වසර තුන තුළ යළි මා පහළට වැටුණා.‘