මහරගම නගර සභාව ඉදිරිපිට ඇති පදික මාරුවෙන් පාර මාරු වෙමින් සිටි මහරගම නගර සභාවේ ආරක්ෂක නිලධාරියකු හප්පා දමා පලායමින් තිබූ මෝටර් රථයක් පසුපස පන්නා ගොස් මග හරස් කර එම රථයට ගැටෙන ලෙස නවත්වා අදාළ සැකකාර රියදුරුව අල්ලාදීමට  රියදුරකු සමත් වී තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලබා සිටි මහරගම නගර සභාවේ සේවයේ නියුතු ආරක්ෂක නිලධාරියා කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව මහරගම පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්  පැවසීය.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ බොරලැස්ගමුව, අබේරත්න මාවත, 1 වැනි පටුමගේ පදිංචිව සිටි අලුත්ගේ දොන් සමන් (50) නමැති අයෙකි.

අදාළ ආරක්ෂක නිලධාරියා මහරගම නගර සභාව ඉදිරිපිට ඇති හයිලෙවල් මාර්ගයේ පදික මාරුවෙන් පාර මාරුවන්නට පටන් ගෙන තිබේ. එහිදී කොට්ටාව දෙස සිට

කොළඹ දෙසට අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් ඔහු හප්පා දමා පලා යන්නට පටන්ගෙන තිබේ. මේ බව දුටු පසුපසින් පැමිණි මෝටර් රථයේ රියෑදුරු පලායමින් තිබූ මෝටර් රථය පසුපස පන්නා ගොස් මහරගම බස් නැවතුම අසල පිහිටි බෝගහ අසලදී පලායමින් තිබු මෝටර් රථයට වැදෙන ලෙස සිය රථය මග හරස් කර නවතා තිබේ. අනතුරුව පලායමින් සිටි රියෑදුරුව පිටතට ගත් අනෙක් රථයේ රියදුරු ඔහුගේ රථයෙන්ම නංවාගෙන ගොස් පොලිසියට භාරදී තිබේ.
සැකකරු පරීක්ෂා කිරීමේදී අධික ලෙස මත්පැන් පානය කර සිට ඇතැයි හෙළි වූ බව පොලිසිය පවසයි.
ආරක්‍ෂක නිලධාරියා සැකකරු පැදවූ මෝටර් රථයේ හැපීමත් සමඟ මීටර් 6 ක් ඉදිරියට විසිවී ගොස් වැටී ඇත.
අනතුර සිදුකර පලාගිය මෝටර් රථ රියදුරු අල්ලා පොලිසියට භාරදී ඇත්තේ කරුපයියා නිර්ලචන්දන් නමැති අයෙකු විසිනි.

සැකකාර මෝටර් රථයේ රියදුරා ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අනතුරින් මියගිය ආරක්ෂක නිලධාරියාගේ මරණ පරීක්ෂණය කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා විසින් පවත්වන ලදී.
මහරගම පොලිසිය මේ පිලිබඳ වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.