යාපනය මහාධිකරණයේ විනිසුරුවරයකු ලෙස සේවය කරන මානික්ක වාසගර් ඉලන්චේලියන් මහතාට වෙනත් අධිකරණ බල ප්‍රදේශයකට මාරුවක් ලබාදීමට
පවතින සූදානමක් නිසා සිවිල් සංවිධාන හා දේශපාලන පක්ෂ මගින් ඒ ගැන විරෝධය පළ කර තිබේ.
ඔහුට ලබාදී ඇති ස්ථාන මාරුව

අවලංගු කරන්නැයි දෙමළ ජාතික සන්ධානයද ඉල්ලා සිටී.
 2015 වර්ෂයේදී යාපනය මහාධිකරණ විනිසුරු ලෙස මානික්කවාසගර් මහතා වැඩ භාර ගැනීමෙන් පසු ප්‍රදේශයේ සාමකාමී වාතාවරණයක් ඇතිවූ බවද ඔවුහු සඳහන් කරති.
ජීවිත තර්ජන මධ්‍යයේ ඉලන්චේලියන් විනිසුරුවරයා ඇතැම් නඩුවලදී ආන්දෝලනාත්මක තීන්දු ලබාදෙමින් ‍පොලිස් නිලධාරීන් සමග නිර්මාණාත්මකව විවිධ වැඩසටහන් දියත් කිරීම ඔහු කරදර යයි සිතූ පිරිසකගේ බලපෑමක් මත ස්ථාන මාරු වීමක් ලබාදී ඇතැයි පැවසේ.
මේ පිළිබඳ ඉලන්චේලියන් මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ
තමන් රජයේ සේවකයකු නිසා යම් ස්ථාන මාරුවක් ලැබෙන්නේ නම් ඒ ඕනෑම තැනකට යෑමට තමන් සූදානම් බවයි.
2015 වසරේදී ඉලන්චේලියන් මහතා යාපනය මහාධිකරණ විනිසුරු ධුරයට පත්ව ආවේ ත්‍රිකුණාමලයේ මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් සේවය කරමින් සිටි අතරතුරදීය. ඔහු ඊට පෙර වවුනියාවේ දිසා විනිසුරුවරයා වශයෙන් බොහෝ කාලයක් සේවය කර තිබේ.