ඉඩම වැට මායිම සිටුවා තිබූ මඤ්ඤොක්කා ගසක කොළ කෑවා යැයි උරණව මරණයෙන් නිදහස් කර ගත් මාස පහමාරක ගැබ්බර එළදෙනකගේ වලිගයේ අග කොටස කපා දැමූ බව කියන පුද්ගලයා ඊයේ (23)
කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (24දා) දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට වැඩබලන මහෙස්ත්‍රාත් කේෂා ජයවර්ධන මහත්මිය නියෝග කළාය.

  මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කළේ පොල්ගස්ඕවිට සියඹලාගොඩ මැල්වත්ත හන්දිය ප්‍රදේශයේ පදිංචි පනස් එක් හැවිරිදි

උඩුවනගේ දොන් බන්දුල සරත් කුමාර නැමැත්තායි. වලිගයේ අග කොටස කැපීමට ලක් වූ එළදෙනකු පොල්ගස්ඕවිට ජයලියගම ප්‍රදේශයේ අයකු මරණයෙන් නිදහස් කරගෙන සියඹලාගොඩ මැල්වත්ත හන්දිය ප්‍රදේශයේ කිරි ගොවියකුට මීට මාස අටකට පමණ පෙර හදා වඩා ගැනීමට දුන් සතකු බව පොලිසිය කියයි.

  කහතුඩුව පොලිසියට පෙරේදා (22) පැමිණිල්ලක් කළ එම ගොවි මහතා එදින පෙරවරු අටයි තිහට පමණ යාබදව පිහිටි ඉඩමක ගැබ්බර එළදෙන ගැට ගසා සිටි බවත් දහවල් දෙකට පමණ එළදෙන රැගෙන ඒම සඳහා ගිය අවස්ථාවේදී එළදෙන එහි නොසිටී බවත් කඹය පමණක් තිබූ බවත් පැමිණිල්ලේ සඳහන් කර තිබිණි. ඔහු එළදෙන සොයා පැමිණීමේදී සැකකරු ඔහුගේ නිවෙස අසලදී "මම තමයි කඹය කැපුවේ උඹට පුළුවන් දෙයක් කරපං” යැයි පවසා  ඇතැයි පොලිසිය කියයි.

  එළදෙන සොයා මඳ දුරක් යද්දී වලිගයෙන්  ලේ ගලන තුවාල සහිතව වේදනාවෙන් පෙළෙමින් සිටිනු දුටු පැමිණිලි කරු එළදෙන අසලට ගොස් පරික්ෂා කිරීමේදී වලිගයේ අග කොටස කපා දමා තිබෙනු දුටු බව ද පැමිණිල්ලේ සඳහන් වේ.  එළදෙන සැකකරුට අයත් වත්තේ මඤ්ඤොක්කා  ගසක කොළ හා මෑකරල් වැල් කිහිපයක් කෑම සම්බන්ධයෙන් උරණව මෙම අපරාධය කර ඇති බවට පොලීසිය කළ පරිෂණවලදී අනාවරණය වී ඇත.