කෙලවරපිටිය, කඩවත, පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් භාරව සේවයේ නිරත චීන සමාගමේ වැඩ බිම භාර කළමනාකාරවරයා පසුගිය 06 වැනිදා මහබාගේ පොලිසියට පැමිණිල්ලක්  ඉදිරිපත් කරමින් තම වැඩබිම ආසන්නයේ ගැවසෙමින් එහි සේවයේ නිරත ආරක්ෂක නිලධාරීන්ට පහරදෙමින් චීන ජාතික
ඉංජිනේරුවන්ට තර්ජනය කරමින් වටිනා බඩු භාණ්ඩ සොරකම් කිරීමේ නිරත කණ්ඩායමක් පිළිබඳව හෙළිදරව් කර තිබේ.

 කණ්ඩායම් ලෙස පැමිණන සොරුන් යකඩ ඇතුළු මිල අධික ඉදිකිරීමේ කටයුතුවලට යොදා ගන්නා විදුලි යන්ත්‍ර පවා සොරකම් කරගෙන යන බවත් එයට විරෝධය පළ කරන ආරක්ෂක නිලධාරින්ට තර්ජනය කර පහර දෙන බවත්ය. මෙලෙස  සිදුවන හිරිහැර නිසා තවදුරටත් ඉදිකිරීම් කළ නොහැකි බැවින් සේවා කොන්ත්‍රාත්තුව අහෝසි කර ආපසු මවුරට බලා යෑමට චීන ජාතික සමාගම සූදානම් වෙන බව එම පැමිණිල්ලේ සඳහන් කර ඇත.


 බස්නාහිර උතුර භාර නියෝජ්‍ය  පොලිස්පති අජිත් රෝහණ මහතා වෙතට මෙම සිද්ධිය සැලවීමෙන් පසු ඔහු මෙහි ඉදිරි පරීක්ෂණ කටයුතු පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත පවරා ඇත්තේ වහාම මෙම සැකකාර කණ්ඩායම නීතියේ රැහැනට කොටු කර ගැනීමේ වගකීම ඔවුන් වෙත පවරමිනි.

 එම අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වවා මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක සමීර මංජුල කුලසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් කළ සෝදිසි මෙහෙයුමකින් පසු සැකකාර කණ්ඩායමේ තිදෙනෙක් ඔවුන් පදිංචි මහබාගේ නිවෙස්වලදීම පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

 චීන සමාගම පොලිසියට කළ පැමිණිල්ලට අනුව ලක්ෂ හයකට වැඩි භාණ්ඩ මෙම සොර කල්ලිය විසින් පසුගිය කාලය තුළදී සොරා ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් එම භාණ්ඩ වෙනත් පුද්ගලයකුට අලෙවි කර තිබියදී සොයා ගෙන ඇති අතර දැනට සොයා ගෙන ඇති භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ දෙකහමාරක් පමණ වෙතැයි අනුමාන කරන බව පොලිසිය පැවසිය.  අත්අඩංගුවට පත් සැකකරුවන් තිදෙනා ගෙන් එක් අයකු කළ හෙළි කිරීමකින් පසු චීන ජාතික සේවකයන්ට තර්ජනය කරමින් ආරක්ෂක නිලධාරීන්ටද පහර දුන් තවත් සැකකරුවන් 08 දෙනකුද 18 වැනිදා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

 සොර කල්ලිය අලෙවි කළ භාණ්ඩ මිලට ගත් පුද්ගලයාද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් සියලු දෙනා ඉකුත් 19 වැනිදා වත්තල මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණයේ නියෝග ලැබී ඇත.