අගනුවරට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි මරාගෙන මැරෙන කොටි ත්‍රස්තවාදීන් විශාල ප්‍රමාණයක් එකළ අත්අඩංගුවට ගැනීමට බුද්ධි අංශවලට හැකි වූ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඊයේ හෝකන්දර දී ප්‍රකාශ කළා.
යුද්ධයේ අවසන් භාගයේ දී අගනුවර ආරක්ෂා කරගැනීමට හැකි වූයේ එම හේතුව නිසා බවයි ඔහු පෙන්වා දුන්නේ.
එහෙත් වර්තමානය වන විට අවාසනාවන්ත ලෙස බුද්ධි අංශ නිලධාරීන් මෙන්ම රණවිරුවන් විශාල ප්‍රමාණයක් සිරගත කර ඇති බව ඔහු සඳහන් කළා.
ඒ අතරම බුද්ධි අංශ විශාල පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගත්,

දරුණු මිනීමැරුම්වලට සම්බන්ධ ත්‍රස්තවාදීන් නිදහස් කරමින් යන බව ද හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසුවා.
එමෙන්ම පසුගිය දා උතුරේ ඇති වූ තත්ත්වය පිළිබඳව කනගාටුවන බවත් සංහිඳියාවට මුවාවී ත්‍රස්තවාදීන් සැමරීම සැබෑ සංහිඳියාව නොවන බවත් ඔහු අවධාරණය කළා.
රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් ලබාගත් නිදහස් පිළිබඳවත් ඉතිහාසය පිළිබඳවත් කිසිදු අවබෝධයකින් තොරව, විවිධ බලවේගවල අවශ්‍යතාව සහ දේශපාලන අරමුණු වෙනුවෙන් එම ජයග්‍රහණය පාවා දීම සිදු කළ හොත් නැවතත් එවැනි යුගයක් ලැබීමට ඉඩ ඇති බව ද ඔහු පෙන්වා දුන්නා.