ඇමරිකාවේ කැලිෆෝනියාහි සැන් බෘනොහි පිහිටි සුප්‍රසිද්ධ ගූගල් සමාගමට අයත් යූ ටියුබ් මූලස්ථානයේ  සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක මියගොස් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ඇමරිකාවේ වේලාවෙන් දහවල් 12.40 ට පමණ එම කාර්යාලයේ දිවා විවේකය පැවති අවස්ථාවේය. කාර්යාලය තුළ පිහිටා තිබෙන

බාහිර අයටද ඇතුළුවිය හැකි ආපන ශාලාවේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ කාන්තාවක විසිනි.

ඇයත් යූටියුබ්හි සේවය කරන ඇගේ පෙම්වතාත් අතර පැවති ආරවුලක් මත මෙම මරාගෙන මැරෙන වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවට පොලිසිය සැකකරන අතර මෙම වෙඩි තැබීම නිසා පෙම්වතාට දරුණු ලෙස තුවාල සිදුව ඇත. ඇය එතැනම මියගොස් ඇත. වෙඩි තැබීම බේරන්නට ගිය තවත් 2 නෙකුටද සුළු තුවාල සිදුව ඇත. මෙම තිදෙනා මේ වනවිට රෝහල් ගත කර තිබේ..

යූ ටියුබ් කාර්යාලයක මෙවැනි සිද්ධි මින් පෙර වාර්තාවී නැති අතර සිද්ධියත් සමග හදිසි සංඥා නාදවූ බවත් කාර්යාලයේ සියල්ලන් යාබද ගොඩනැගිල්ලකට ආරක්ෂාව පිණිස ගිය බවත් වාර්තා විය. යූටියුබ් මූලස්ථානය වූ මෙහි 1100 පමණ සේවකයින් සේවය කරමින් සිට ඇති අතර යූ ටියුබ් සෙවුම් ,නාලිකා සහ දැන්වීම් සම්බන්ධ ඉංජිනේරු කණ්ඩායම්ද සේවය කරන්නේ මෙහි බව වාර්තාවී තිබේ.
සිද්ධිය පුද්ගලික ආරවුලක් පමණක් බවත් ත්‍රස්ත ක්‍රියාවලියකට සම්බන්ධ නැති බවත් පොලිසිය පවසා ඇත.
මෙම සිද්ධිය ගැන විධිමත් පරීක්ෂණයක් කරන බව ජනපති ට්‍රම්ප් ට්විටර් පණිවිඩයකින්ද පවසා ඇත.