විශ්වාසභංගෙට මොකද වෙන්නේ?
රනිල් එළවන්න
ඒකාබද්ධය සමග ශ්‍රිලනිප එක්වේ



 අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 07ක් සහ 58ක් අතර ගණනකින් ජයග්‍රහණය කෙරෙනු ඇති බවට ඒකාබද්ධ විපක්ෂය මේ වනවිට දන්වා තිබේ.විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඒකාබද්ධ විපක්ෂය ඊයේ (02දා) සඳහන් කර සිටියේ ජයග්‍රහණය කරනු ලබන අදාළ වැඩි ඡන්ද ප්‍රමාණය මේ වනවිට
තමන් වෙත වාර්තා වී ඇති බවත්, රට පාලනයේ සුක්කානම හැසිරවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් නොලැබෙනු ඇති බවත්ය.
තම නායකයාට ආදරය කරන සහ මුදලට කෑදර මන්ත්‍රීවරුන් හැර එක්සත් ජාතික පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවත්, ඒ අනුව, 04 වැනිදා පැය 12ක්  බැනුම් අසා පැරදී ගෙදර යන්නේද නැතිනම් නම්බු පිට ඉල්ලා අස්වන්නේද යන විකල්පය පමණක් අග්‍රාමාත්‍යවරයාට ඉතිරිව ඇති බවත් ඒකාබද්ධ විපක්ෂය එහිදී සඳහන් කළේය.


අගමැති ඉල්ලා අස්විය යුතුයි- SLFP තීරණය කරති


විශ්වාසභංග යෝජනාව විවාදයට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම එ්කමතිකව තීරණය කර ඇත.
යම් හෙයකින් අග්‍රාමාත්‍යවරයා එම ධුරයෙන් ඉවත් නොවන්නේනම් නිදහස් පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර අැත.
ඊයේ පැවැති සාකච්ඡාවකදී ඔවුන් මෙම තීරණය ගත් අතර එය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දන්වා යවා ඇත.
මෙම සාකච්ඡාවට මන්ත්‍රීවරුන් සියල්ල එක්ව ඇති බව වාර්තාවෙයි.


බැසිල් අකමැතිලු

ඒකාබද්ධ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දැඩි අකමැත්ත ප්‍රකාශ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා සිටින්නේ විශ්වාසභංගය ජයග්‍රහණය කිරීමට සහාය ලබා නොදිය යුතුය යන ස්ථාවරකය.
 දේශපාලන මෙහෙයුම අනුව තවදුරටත් රනිල් අගමැති ධූරයේ සිටීම ඉදිරි ආණ්ඩු පෙරළියකට වාසිදායක බව ඔහු කල්පණා කරන බවද දේශපාලන ආරංචි වාර්තා කරයි.


 වසන්ත හා රංගෙ බණ්ඩාර තවමත් තීරණයක් නෑ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංගයට ඡන්දය. භාවිත කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානයක හා රාජ්‍ය අමාත්‍ය පාලිත රංගබණ්ඩාර  අවසන් තීරණයකට පැමිණ නොමැත.
මේ සම්බන්ධයෙන් බී.බී.සී. සිංහල පුවත් සේවයට අදහස් දක්වා ඇති වසන්ත සේනානායක පවසා ඇත්තේ තවමත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
එසේම එම පුවත් සේවයට අදහස් දක්වා ඇති පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසා ඇත්තේ අද (03දා) තීරණයක් ගන්නා බවයි.
එසේම තමා ඇතුළු පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා සාකච්ඡාවක් පැවැත්වූ බවත් එහිදී ලැබුණ පිළිතුරු පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව පැවැසූ බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.



 විශ්වාසභංගය දිනුවත් පැරදුණත් ජවිපෙට ගැටලු නෑ

විශ්වාසභංග යෝජනාවෙන් අගමැතිවරයා පරාජයට පත් වුවත්, ජයග්‍රහණය කළත් එතුළින් ජනතා විමුක්ති. පෙරමුණට කිසිදු ප්‍රශ්නයක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එහෙත් හිටපු ජනාධිපතිවරයා අගමැතිවරයා සමග ඩීල් එකක් දමා අගමැතිවරයා ජයග්‍රහණය කිරීමට කටයුතු කළහොත් එහි බලපෑම් ජනාධිපතිවරයාට බලපාන බව එම පක්ෂයේ මධ්‍යම කාරක සභික පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.

අගමැතිවරයා ජයග්‍රහණය කළහොත් ඔහු ඉන්පසුව තනි ආණ්ඩුවක් සදාගෙන ගමනක් යා හැකි බවද ඊයේ (02දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.


ද්‍රවිඩ සන්ධාන මතය

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ තීරණය දෙමළ ජනතාවගේ යහපත වෙනුවෙන් ගනු ලබන තීරණයක් විය යුතු යැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි.

මෙම විශ්වාසභංගයේදී කුමන හෝ පාර්ශවයක් හට සහාය වීමට පෙරාතුව එකී පාර්ශවය සමගින් ලිඛිත අබබෝධතාවකට අත්සන් කළයුතු බවද මහ ඇමතිවරයා ප්‍රකාශ කරයි.

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය කටයුතු ආකාරය සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් විග්නේෂ්වරන් මහතා මේ අදහස් පළ කළේය.

වත්මන් දේශපාලන වාතාවරණයේදී සුළු ජාතීන්ට එරෙහි ක්‍රියාවන් ඇතිවීමට හේතු ඇත්තේ මහාජාතියේ නායකයින්ට එල්ල වන බලපෑම් බවත් මෙම අවස්ථාවේදී කල්පනාකාරීව කටයුතු කරමින් සුදුසු තීරණයක් ගතයුතු බවත් විග්නේෂ්වරන් මහතා සදහන් කර සිටියේය.


නොසිතන බලවේග එක්වෙනවා

මේ අතර ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එක්‌සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය මහලේකම් අධ්‍යාපන
ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා කියා සිටියේ  අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට කිසිවකුත් නොසිතන බලවේග හෙට (04වැනිදා) වනවිට අගමැති සමඟ එක්‌වන බවය.

 2015 දී ලද ජනවරම මෙම විශ්වාසභංගයේදී පරාජය කිරීමට ඉඩනොදෙන අතර එම ජනවරම පරාජය කිරීමට ආණ්‌ඩුවේ සිට උත්සාහ දරන ජනපදනමක්‌ නැති මැති ඇමැතිවරුන්ට එරෙහිව කටයුතු කරන බවත් ඊයේ (2 දා) සිරිකොත පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා කියා සිටියේය.
විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂයේ සියලු දේශපාලනඥයන් එක්‌වන බවත් එය ජයග්‍රහණය කරවන බව පැවැසූ ඇතැම් දේශපාලනඥයන්ද අගමැතිට සහාය දීමට සූදානමින් සිටින
බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.