රයිගම් ටෙලි හොඳම නිළිය වූ
කසුන් කල්හාරගේ බිරිය නදී කම්මැල්ලවීර

පසුගියදා නිමාව දුටු 2017 රයිගම් ටෙලි සම්මාන උළෙලේ බැද්දේ කුලවමිය ටෙලි නාටකයේ රංගනය නිසා හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍රවූ නදී කම්මැල්ලවීර ගැන බොහෝ තොරතුරු වැඩි දෙනා නොදනී. ඇය ප්‍රකට ගායක කසුන් කල්හාරගේ බිරියයි.
ඔවුනට ධනු කල්හාර නමින් පුතෙකුද
සිටී. නදීගේ පියා ප්‍රකට කෙටිකතා නිර්මාණකරුවෙකු  හා සාහිත්‍යධරයෙකු වන ජයතිලක කම්මැල්ලවීරයි.ඇය කොළඹ සරසවියේ උපාධිධාරිනියකි. නදී පසුගිය කාලයේ සිටියේ ඕස්ට්‍රේලියාවේය. සම්මානය ලද පසු ඇය පුවත්පතකට ලබාදුන් විස්තරයක් පහත පරිදිය.

නදී මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ හොඳම නිළිය. මොකද හිතෙන්නේ ඒ ගැන?
සම්මානයක් ලැබුණාම ඉතින් හොඳ හැඟීමක් තියෙන්නේ. සන්තෝසයි. ඒක ලැබිච්ච එක ගැන.

 ටෙලි රංගනය උදෙසා මේ ප්‍රථම වතාව නේද සම්මාන ලැබුවේ?

ඇත්තෙන්ම ඔව්. මේ පළවැනි වතාවටයි. මීට කලින් ඒකාංගික පෝය නාට්‍ය තුනක රඟපාලා තියෙනවා. ඒ නාට්‍ය තුනත් අධ්‍යක්ෂණය කළේ ආනන්ද අබේනායක මහතා. එච්චරම තමයි මේ දක්වා කරල. තිබුණේ. මම දායක වූ පළමු වෘතාන්ත නාට්‍ය තමයි බැද්දේ කුලවමිය.

සමස්තයක් විදියට රගපෑ ප්‍රථම් ටෙලි නාට්‍ය චරිතය වෙනුවෙන් සම්මානය ලැබීමට අමතරව ප්‍රේක්ෂිකාවක ලෙස ඔබ බැද්දේ කුලවමිය දකින්නේ කොහොමද?


මේ නාට්‍ය ප්‍රේක්ෂකයා ගොඩාක් කැමති වෙච්ච නාට්‍යයක්. ලැබුණු ප්‍රතිචාර එක්ක එය මට තේරුණා. චරිත විදියට මෙහි ගලාගෙන ගිය මහ පොළොව ජීවත් වන ඇත්ත චරිත. මනුෂ්‍ය සම්බන්ධතාවල සංකීර්ණ ස්වභාවය ගැන කතා කළ පිටපතක්. චංචලා කියන චරිතය මං වෙන්න කැමති විදිය ස්ත්‍රී චරිතයක්. ඇය අතිශය පිටිසර දුෂ්කර ගමක ඉපදුණු ඒ ගමේ ගතානුගතික සමාජය අභිබවා ගිය ස්වාධීන චින්තනයක් තිබුණු චරිතයක්. තමන් කැමති ජීවිතය තමන් කැමති ආකාරයට ගෙවන්න ඕනෑ වුණු කෙනෙක්. සමාජය තමාගෙන් ඉල්ලා සිටි සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව ප්‍රතිෂ්ප කළ කාන්තාවක්. තමන්ගේ හෘද සාක්ෂියට එකගව අවංකව ජීවත් වෙන්න උත්සාහ ගත් කෙනෙක්. මම චංචලාට පුද්ගලිකව කැමතියි. ඇය බොරු සාටෝප වලින් තමන්ව වහගත්තු චරිතයක් නොවෙයි. අව්‍යාජ ශක්තිමත් තරුණියක්. ඇත්තටම මාත් ඒ වගේ නම් මම ඒකට හරි කැමතියි.

කොහොම වුණත් මේ විදියට ඔබ සම්මාන ලැබුවත් පසුගිය කාලයේ පෙනෙන්නට හිටියෙ නැහැ?

පසුගිය කාලයේ මම හිටියේ ඕස්ටේ‍්‍රලියාවේ. ඒත් මාස කීපයකට පෙරදී මෙහි ආවා. දැන් සිටින්නේ මෙහේ. 

අද ඔබගේ ජීවිතය ගලා ගෙන යන්නේ කොහොමද? රගපෑමෙන්ද? මොකද නිතර දකින්නත් නැහැ?

මම වැඩ ගොඩක් කරලා නැහැනේ. රඟපෑම් වලට සම්බන්ධ වෙනවා. පසුගිය වසරේ විසාක්ය චන්ද්‍රසේකරම්ගේ පාංශු කියන චිත්‍රපටයේ රඟපෑවා. ඉස්සරහට නම් තව නිශ්චිතව දාගත්තු වැඩක් නැහැ. ලැබෙන විදියකට කරන්න ඕනෑ.

නදී කොහොමද ජීවිතය?
ජිවිතය හොඳයි. වැඩ වැඩියි. සමහර වෙලාවට අමාරුයි වගේ. සමහර වෙලාවට හරිම ෂෝක්.


ඇයි ඔබ ගයන්නේ නැත්තේ?
 ගයන්න ඕන ගයන්න පුළුවන් අය නේද? බැරි වැඩ කරලා සවුත්තු වෙන්නේ මොකටද?

ඔබගේ පියා ප්‍රකට ගත් කතුවරයෙක්.පොත් පත් ලිවීමේ අදහසක් ඔබට ඇති වුණේ නැද්ද?

අදහස නං නිතර එනවා. මං මේ දක්වා කරලා තියෙන්නේ. පරිවර්ථන. නමුත් මං ඉතාම කැමතියි. තාත්තා වගේ ලියන්න. ඒ ගැන අධ්‍යයනය කරමින් ඉන්නේ. බලමු.

නදී එතකොට රගපාන්නේ තමුන්ට කැමති චරිතයක් ලැබුණොත් විතරද?

කැමති චරිත කියලා එකක් මට නැහැ. හැබැයි හොඳ රංගනයක් ඉදිරිපත් කළ හැකියි කියලා හිතෙන චරිතයක් ලැබුණාත් දෙපාරක් හිතන්නෙ නැහැ. පරාසයක විහිදුණු එකිනෙකින් වෙනස් චරිත කරන්න ලැබෙනවා නම් රංගන ශිල්පිනියකට එය වාසනාවක්.

සටහන - සඳුන් ගමගේ (සඳැල්ල)