නකල්ස්හි දී අතරමංවූවැයි ගෙවල්වලට බොරු කියූ
හෝමාගම තරුණයෝ
රටම කලබල කළ හැටි



ඊයේ බොහෝ මාධ්‍ය තුළ පළවූ ප්‍රවෘත්තියකින් කියැවුනේ නකල්ස් රක්ෂිතයේ විනෝද චාරිකාවකට ගිය හෝමාගම ප්‍රදේශයේ තරුණයින් කණ්ඩායමක් අතරමංවී ඇති බව හා ඔවුන් සෙවීමට පොලිසිය උඩුදුම්බර රත්තොට හා ලග්ගල පොලිසි එක්වී මෙහෙයුමක් අරඹා ඇති බවකි.  ඔවුන් ගෙන් මේ වනතුරු කිසිම තොරතුරක් නැතැයි 119 හදිසි ඇමතුමට ඥාතියෙකු කළ දැනුම්දීමක් අනුව එම විශේෂ මෙහෙයුම අරඹා තිබුණි.
නමුත් මේ කියන ආකාරයේ අතරමංවීමක් ඇත්තටම සිදුවී නැත.
සියල්ලන් ඊයේ වනවිට තම තමන්ගේ නිවෙස් වෙත නිරුපද්‍රිතව
ගමන් කර තිබුණ අතර මෙය කොලු කණ්ඩායම රිවස්ටන් යාමට යයි නිවැසියන්ට කියා ගොස් තම පුද්ගලික අවශ්‍යතාවන් මත ගැසූ සවාරියක් වූ අතර නිවසට පැමිණීම ප්‍රමාද වීමට හේතු ලෙස ‘සිග්නල් නැහැ අපි අතරමං වෙලා‘ යයි එක් අයෙකු තම නිවසට ලබාදුන් ඇමතුමකින් පසු එම දුරකථනය දින කිහිපයක් ක්‍රියාත්මක නොවීම නිසා දෙමාපියන් බියට පත්ව පොලිසියටද දන්වා මෙම කලබලය මතුවී තිබේ.
අතරමංවූ තරුණයින් සොයා මෙහෙයුම ක්‍රියාත්මක වන අතරේ කණ්ඩායමේ සිටි තරුණයින් තිදෙනෙකු නිවෙසෙ බලා බස් රථයකින් ගමින් කරමින් තිබී ඇති අතර තමන් ඇතුළු පිරිස සොයා මෙහෙයුමක් අරඹා ඇති බවට ගුවන් විදුලියෙන් ප්‍රචාරයවූ පුවත එහිදී අසා ඔවුන් පුදුමයට පත්ව තිබේ.

හෝමාගම, කහල්ල, අත්තනගල්ල සහ පමුණුව ප්‍රදේශයේ තරුණයින් හත්දෙනකු ‘රිවස්ටන් ට්‍රිප්‘ එකක් යන බවට නිවැසියන්ට කියා 06 දා සවස මෙම ගමන පිටත්ව තිබේ.

ඔවුන් සියල්ල ඇත්තටම එහි ගියාද යන්න පැහැදිලි නැති අතර එක් තරුණයෙකු පොලිසියට දන්වා තිබුනේ‍ පාතදුම්බර, පස්වැල. බඹරැල්ල ප්‍රදේශයෙන් නකල්ස් රක්ෂිතයට ඇතුළුවූ බවත්  වර්ෂාව හේතුවෙන් මාර්ගය වැරදීම නිසා එම ප්‍රදේශයක වාඩියක නවාතැන්ගෙන සිටින අතර පමුණුව ප්‍රදේශයේ රෙදි වෙළෙන්දකු වු තම පියාට දුරකථනයෙන් අමතා මාර්ගය වැරදුනු බැවින් ප්‍රමාදවිය හැකි බවට ඇමතුමක් දුන් බවයි.

එයින් පසු තම පුතාගෙන් කිසිම ප්‍රතිචාරයක් නැතියෙන් කලබලයට පත්වූ පියා 119 ඔස්සේ පොලිසියට සිද්ධිය දන්වා ඇත. පොලීසියේ නිලධාරීන් වනසංරක්ෂණ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පෙරේදා රාත්‍රී 11 සිට මෙහෙයුමක් ආරම්භ කරන ලදී.  කිසි තොරතුරක් නොලැබුණ නිසා තරුණයින් බේරා ගැනීමේ මෙහෙයුමට ඒ වන විට ගුවන් හමුදාව කැඳවීමටද පොලීසිය සුදානමින් සිට ඇත.

තරුණයින් කණ්ඩායමේ තිදෙනකු සිය නිවෙස් බලා ඊයේ (09) බස් රථයකින් යමින් සිටියදී පොලිසිය තමන් සොයන බවට ගුවන් විදුලියෙන් දැනගෙන වහාම පොලිසිය අමතා ඇත්ත තත්වය දන්වා තිබේ.

පොලිසියට ඇමතුම ගන්නා විට ඔවුන් බඹරඇල්ල ප්‍රදේශයට එමින් සිටි බව පවසා ඇත.
තමත් නිරතුරු ගවේෂණ කටයුතුවල නිරතවන අය බවත්,

ඒ සඳහා කුඩාරම්, ආහාර ද්‍රව්‍ය පූර්ව සුදානමින් රැගෙන ගිය බවත් මෙම පිරිස පොලිසියට පවසා ඇත.
‘රේඩියෝ අහද්දි තමා අපි දන්නේ පොලිසිය අපිව හොයනවා කියලා. අපි එන්න පැය දෙකකට කලින් තුන්දෙනෙක් පිටත් වුණා. දෙන්නෙකුට මළ ගෙදරක යන්න තිබුණා, තවත් එකෙනකුට ජොබ් එකේ වැඩකට යන්න තිබුණා. ඒ නිසයි ඔවුන් කල් ඇතිව පිටත් වුණේ."  එක් තරුණයෙකු පවසා ඇත.
තරුණයින් පිරිස එකට රක්ෂිතය තුළට ඇතුළුවී වෙන්ව රක්ෂිතයෙන් පිටවුයේ ඇයිද යන්න පිළිබඳව සැකයක් මතුවී ඇතැයිද ඔවුන් පවසන කරුණු වල සැකමුසු තැන් ඇතැයිද පොලිසිය පවසා ඇත.

තරුණයින් පිරිස පසුව දන්වා ඇති ආකාරයට නකල්ස් කලාපයට ඇතුළුවී ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ප්‍රවේශ මාර්ගවලින් නොවන බවටද අනාවරණය වී ඇත.
රිවස්ටන් ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළුවීම සම්බන්ධව මෙම තරුණයින් පිරිසට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.