විනිසුරු ඉලංන්චේලියන් භාරගත්
සැරයන් පවුලේ ලොකු දුව
සාපෙළ ඉහළින්ම පාස්


පසුගිය වසරේ ලංකාවේ වාර්තාවූ හදවත් කම්පා කරන සිදුවීම් අතර එකක් වූයේ යාපනය මහධිකරණ විනිසුරු ඉලංචේලියන් මහතාට ආරක්ෂාව සපයමින් සිටි සැරයන්වරයෙකු එම රාජකාරිය අතරදී හදිසි ප්‍රහාරයකින් මියයාමත් ඉන් පසු තමා නිසා මියගිය සැරයන් වරයා වෙනුවෙන් හඬමින් මහධිකරණ විනිසුරු ඔහුගේ පවුලේ වගකීම භාරගන්නා බව ප්‍රකාශ කිරීමත්ය.
ඔහු සිය පොරොන්දු අකුරට ඉටු කළා සේම එම කම්පිත සිද්ධියෙන් පසු ඉක්මණින් හිත හදාගත් එම සැරයන්වරයාගේ ලොකු දුව සමාධි මේ වනවිට සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ 6 ක් බී 2 ක් සී 1 ක් ලෙස ඉහළ ප්‍රතිළුලයක් ලබාගන්නට සමත්ව තිබේ.
පොලිස් සැරයන්වරයකු වූ සරත් හේමචන්ද්‍රගේ දියණිය වූ සමාධි අමන්දා තවමත් පහළොස් හැවිරිදි දැරියකි.ඇගේ එකම බාල සොයුරා සදෙව් ආනන්දයි. අම්මා හලාවත පොලිසියේ කොස්තාපල්වරියක් වන ප‍්‍රියංගිකා කුමුදුනිය.
සමාධි කුඩා කාලයේ බම්බලපිටියේ සාන්ත පාවුළු බාලිකා විද්‍යාලයට
ගොස් 4 පන්තියේ සිට හලාවත පල්ලම නන්දිමිත‍්‍ර මහා විද්‍යාලයට ගියාය. ඒත් දරුවන් ළඟ සිට ඔවුන්ගේ ඉගෙනීමට උදව්කරන්නට තරම් වාසනාවක් සැරයන් සරත් හේමචන්ද්‍රට තිබුණේ නැත. 2003 වසරේ කොළඹින් උතුරු නැගෙනහිර පොලිස් රාජකාරී සඳහා ගිය සැරයන් හේමචන්ද්‍ර 2017 වනතුරු සිටියේත් උතුරු නැගෙනහිර සේවයේය. නිවාඩුවට  දුරකථනයෙන් දියණිය සේම පුතුද අමතන්නට ඔහු ඒ කාලයේ කටයුතු කළේය. විශේෂයෙන් දියණියව උනන්දු කළේ ඇය ඒ වසරේ දෙසැම්බරයේ සාමාන්‍ය පෙළ විභාගයට ලියන නිසාය. සමාධි ඒ වෙනවිටත් බොහෝ මහන්සියෙන් විභාගයට සූදානම් වෙමින් සිටියාය. මහ පාන්දරතෙක්ම පාඩම් කළ ඇය යළි පාන්දර හතර හමාරට පහට නැගිට්ටාය. විෂයන් සියල්ලටම කෙසේ හෝ සමාධිව පන්ති යවන්නට සරත් හා ප‍්‍රියංගිකා සැරසුණත් සමාධි තෝරා ගත්තේ විෂයන් තුනක් සඳහා පන්ති පමණි.
ඇගේ දක්ෂතා හඳුනන කවුරුත් සමාධිගෙන් බලාපොරොත්තු වූයේ ”ඒ” නවයකි. මාසෙන් මාසය දෙසැම්බර් විභාගයට ළංවෙමින් තිබුණි.
2017 අගෝස්තු නිවාඩුවට පෙර පාසලේ වාර විභාගය පැවැත්වෙමින් තිබුණේය. විෂයන් තුන, හතරකට ලියා ලකුණු ද ලැබෙමින් තිබුණි. ඒ හොඳ ලකුණු ගැන සමාධි අම්මා සමග මෙන්ම දුරකථනයෙන් තාත්තා සමග ද කතා කළාය.
යාපනේ පොලිසියට අනුයුක්තව යාපනේ මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතාට ආරක්ෂාව සපයමින් සිටියදී  23 වැනිදා  විනිසුරුවරයාගේ නිල රථයට නොසිතූ ලෙස කඩාවැදුණ චණ්ඩියකු වූ සෙල්වරාසා සැරයන් සරත් හේමචන්ද්‍රගේ පිස්තෝලය උදුරාගෙන තිබූ අතර එහි උණ්ඩයක් සැරයන්වරයාගේ ළය පසාරුකොට ගෙන ගියේ සැරයන් හේමචන්ද්‍ර බිම හෙළමිනි. ඊළඟ වෙඩි උණ්ඩය විනිසුරුවරයා ඉලක්කකොට ගෙන ආවෙන් ඔහු බේරාගන්නට අනෙක් පොලිස් නිලධාරියා ඉදිරියට පැන තිබූ අතර ඒ වෙඩි ප‍්‍රහාරයෙන් විනිසුරුවරයා බේරුණත් ඉදිරියට පැන්න පොලිස් නිලධාරියාගේ අතට වෙඩිවැදුණේය.
 2017 වසරේ ජුනි 23 වැනිදා සමාධිට අසන්නට ලැබුණේ ඒ සිහින සියල්ල දැවී

හළු වී ගිය පණිවිඩයකි. ඒ ඇගේ ආදරණීය තාත්තා ජීවිතය හැරගොස් සිටින ආරංචියයි.
එතැන් සිට සමාධිගේ ජීවිතය, සිත, සිතුවිලි කණපිට පෙරළුණා සේ විය. ඒ ගැන කියන්නේ සමාධිගෙ අම්මා ප‍්‍රියංගිකාය.
මහත්තයා නැතිවුණ එක එදා වගේම අදටත් හීනයක් වගේ. එදා මහත්තයා නැතිවෙනකොට දුවට විභාගෙට තිබුණෙ හරියටම මාස හයක්. තාත්තා නැතිවුණත් එක්ක දුව හරියට වෙනස් ළමයෙක් වුණා. පළවෙනිම දේ එයා නිශ්ශබ්ද ළමයෙක් වුණා. ඊළඟට එයාට ඉගෙනගන්න තිබ්බ ඕනකම නැතිවුණා. ඉස්කෝලෙ යන්න කම්මැලි කළා. පන්ති යන්න බෑ කිව්වා. පාඩම් කරන්න පොතක් අතින් ඇල්ලූවේ නෑ.. දුව නොකියා ඇඟව්වා තාත්තා නැතුව එයාට විභාගෙ පාස්වෙලා වැඩක් නෑ කියලා වගේ කතාවක්. මං එයාට වටහලා දෙන්න උත්සාහ කළා තාත්තා කොහෙ හරි ඉඳලා බලාගෙන ඇති… එයාට පේන්න කොහොම හරි තාත්තගෙ බලාපොරොත්තුව ඉෂ්ට කරමු කියලා.

ඒත් එක්කම හයිකෝට් සර් දරුවො දෙන්නගෙ අනාගතේ බාර ගත්තැයින් පස්සේ හයිකෝට් සර්රුත් දුවට තේරුම් කරලා දුන්නා. දුව ඉස්කෝලෙ ගියා. වැඩි උවමනාවක් උනන්දුවක් නැතුව ඉස්කෝලෙ යන දුවගෙ මහා ලොකු වෙනසක් එයාගෙ ටීචර්ලට තේරුණේ නෑ. මොකද උපන් දක්ෂකමක් එයාට තිබ්බ නිසා. මම ඉස්සර විදිහට දුවව පාඩම් කරන්න උනන්දු කෙරෙව්වා. දුව එක්ක මම නැගිටලා එයා පාඩම් කරනකල් මම ඒ ළඟට වෙලා අවදියෙන් හිටියා. මම දිගටම එහෙම දුව පිටිපස්සෙන් ඉන්නකොට එයා ටිකක් විතර උනන්දු වුණා. ඕනකමකින් නෙවේ ඒත් පාඩම් කළා. පන්ති යන්න නම් බෑම කිව්වා. ඉස්සර බස් එකේ පන්ති ගියේ.. පස්සෙ හයිකෝට් සර් රුත් කියලා පන්ති දවස්වලට දුවව ත‍්‍රීවිල් එකෙන් පන්ති එක්ක ගියා. ඒ පන්ති තුනම දුවට හම්බවුණේ නොමිලේ. පන්ති තිබ්බ තැන ඉසුරු සර්රුයි, දුවලට උගන්නපු හේමන්ත,අඛිල,ජීවන් සර්ලයි දුවට නිතරම කිව්වෙ ” ඔයාට ”ඒ නවයක් ගන්න පුළුවන්. කොහොමහරි ඒ නවයක් ගන්න කියලා” .දුව සර්ලා කියන දේ ඇහුවා. නොපෙන්නුවාට, නොකිව්වට තාත්තා නැතිවෙච්ච එක එයාට ලොකු කම්පනයක් වෙලා තිබ්බා. තාත්තාගෙ නැතිවීම ගැන එයා ඊටපස්සෙ කවදාවත් කතා කළේ නෑ.


අපි කතාකරනවට කැමති වුණෙත් නෑ. හයිකෝට් සර් යාපනේ ඉඳලා ගෙදර යන්නෙ කවද්ද ඒ හැම දවසකම ඇවිත් දරුවො බලලා කතා කරලා යනවා. දරුවන්ට වියහියදම් කරනවා.ඒ සර් කියන දේත් දුව ඇහුවා.
 එයාගෙ ප‍්‍රතිඵල, A හයක්, B දෙකක් සහ C එකක් විදිහට තියෙනවා දැක්කම එයා එක දෙයයි විභාග ප‍්‍රතිඵල ගැන මාත් එක්ක කිව්වේ..” තාත්තා හිටියානම් මට A නවයක්ම ගන්න තිබුණා අම්මේ.” කියලා. ඒක දුවට විතරක් නෙවේ මටත් හිතුණ දෙයක්. ඒත් මට සතුටුයි.. තාත්තා ගැන මහ දුකක් හිතේ තියාගෙන හරි මගෙ දුව මේ තරමට පාස් වුණාට. ඇත්තම කිව්වොත් තාත්තාත් නැතුව ඉගෙනීමට කිසි උනන්දුවක් තිබ්බෙ නැති දුව මේ තරම් පාස්වෙයි කියලා මං හිතුවෙ නෑ. එයා උසස් පෙළ වානිජ අංශයෙන් කරනවා.

ප‍්‍රියංගිකා දියණියගේ විභාගෙ ප‍්‍රතිඵල කිව්වේ සතුට හා දුක සමව පිරි හැඟීමෙනි. සිය පියාගේ ජීවිතය නරුම මිනිසුන් පිරිසක් උදුරා ගනිද්දී නැතිවුණ පියාගේ ජීවිතය වෙනුවෙන් නිහඬව දුක්වූ සමාධි මනසින් වැටී සිටියදී වුවත් විභාගය ජය ගත්තාය.  ඇය මෙසේ කියයි.
”තාත්තගෙ ලොකු ආසාවක් තිබ්බා මම හොඳටම විභාගෙ පාස්වෙනවා දකින්න. ඒත් මගේ විභාග ප‍්‍රතිඵල දකින්න තාත්තා නෑ කියලා මං දන්න කොට මට හිතුණා මං ඇයි ඉගෙන ගන්නෙ කියලා. මං පාස් වුණත් ප‍්‍රතිඵල දකින්න තාත්තා නෑනෙ කියලා හිතුණා. ඉතින් එතකොට මට ඉගෙනගන්න බෑ කියලමයි මට හිතුණේ. ඒත් අම්මයි හයිකෝට් සර්රුයි මට කිව්වා කොහොමහරි විභාගෙ පාස්වෙන්න කියලා.  වාණිජ අංශයෙන් උසස්පෙළ කරලා ගණකාධිකාරිවරියක් වෙන එකයි මගේ බලාපොරොත්තුව..”