දකුණේ පින් බිමක් වශයෙන් සැලකෙන මාතර බෝධිය අසල මල් විකුණන මුවාවෙන් කැස්බෑ බිත්තර ඉතා සූක්ෂම ආකාරයෙන් විකිණීමේ ජාවාරමක් කළ පුද්ගලයකු මිරිස්ස වනජීවී නිලධාරීන් විසින් 9 දා අත්අඩංගුවට ගෙන තිබේ.

මේ පුද්ගලයා දිගුකාලයක් තිස්සේ මෙම ජාවාරම කර ගෙන ගොස් ඇති අතර මාතර වෙරළ තීරයට පැමිණන කැස්බෑවන්ගේ බිත්තර මේ
ආකාරයෙන් ලබා ගැනීම් කර ගෙන ගොස් තිබේ.
නිදිවරාගෙන අඛණ්ඩව කළ මෙහෙයුම්වලින් පසු හතර වැනි බිත්තර ජාවාරම්කරු මේ ආකාරයෙන් කොටු කර ගැනීමට හැකිවී ඇත.

මේ පුද්ගලයා මාතර නගරයේ කැස්බෑ බිත්තර විකිණීමේ ප්‍රධාන සැකකරු වශයෙන් කටයුතු කරයි. මොහු සන්තකව තිබියදී බිත්තර 118 සොයා ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකිවීම තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් වැඩිදුරටත් පරීක්‍ෂණ පවත්වයි.
මාතර මහේස්ත්‍රාත් හමුවට සැකකරු ඉදිරිපත් කළ අතර එහිදී මේ පුද්ගලයා රුපියල් ලක්‍ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.