දශක ගණනාවක් තිස්සේ මහ භාරකාර දෙපාර්තමේන්තුවේ සේප්පුවේ ති‍බේන බිලියන ගණනාවක් වටිනා විවිධ තරාතිරම්වලට අයත් පුද්ගලයන්ගේ අන්තිම කැමති පත්‍ර 254 ක් කොළඹ දිසා අධිකරණයේදී විවෘත
කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු අවසර දී තිබෙන බව නියෝජ්‍ය මහ භාරකාර ජී. බී. කරවිට මහත්මිය ප්‍රකාශ කළාය.

ඒ අනුව ‍මෙම අන්තිම කැමැති පත්‍ර කොළඹ දිසා අධිකරණයේදී අද (27) පස්වරුවේ විවෘත කිරීමට නියමිතය.

මෙලෙස මහ භාරකාර දෙපාර්තමේන්තුවේ

සේප්පුවේ තැත්පත් කර තිබේන්නේ 1931 වසරේ සිට මෙරට විවිධ පුද්ගලයන් තමන් මිය ගිය පසු තමන්ගේ භාරකරුවන්ට, අඹු දරුවන්ට, දාති මිත්‍රාදීන්ට හෝ සමාජ සුබසාධන කටයුතු සඳහා පවරා දෙන ලද අන්තිම කැමැති පත්‍රයන්ය. මෙම අත්තිම කැමැති පත්‍ර බහලූ ලිපි කවර 254 ක් මෙම දෙපාර්තමේන්තුවේ සේප්පුවේ තිබෙන බවද නියෝජ්‍ය මහ භාරකාරවරිය ප්‍රකාශ කළාය.

1931 වසරේ සිට මේ දක්වා මෙම සේප්පුව විවෘත නොකිරීමට හේතු කවරේද යන්න තම දෙපාර්ත‍මේත්තුව නොදන්නා බවද කළ විමසීමකට පිළිතුරු ‍දෙමින් ඇය සඳහන් කළාය.
මහ භාරකාර දෙපාර්තමේන්තුවේ සේප්පුවේ තිබෙන මෙම අන්තිම කැමැති පත්‍ර විවෘත කර අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මහ භාරකාර සනත් වීරරත්න මහතා ඉකුත් 29 දා අධිකරණය වෙතින් කළ ඉල්ලීමකට අනුව කොළඹ අතිරේක දිසා විනිසුරු චමත් මදනායක මහතා මෙම අවසරය ලබාදුන් බවද ඇය කියා සිටියාය.

මෙම අන්තිම කැමැති පත්‍රවලට අදාළ තොරතුරු කිසිවක් මෙතෙක් නොදන්නා නිසා ඒවා විවෘත කිරීමෙන් පසු ඊට අදාළ පුද්ගලයන් සමග සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද ඇය සඳහන් කළාය.