රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 158.69ක් දක්වා ඊයේ (24) ඉහළ ගොස් තිබිණි. පළාත් පාලන මැතිවරණයෙන් පසුව රුපියලේ අගය වැඩියෙන්ම පහත වැටුණ ඊයේය.
පසුගිය පෙබරවාරි මස 10 වැනිදා

පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වූ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය 4 වැනිදා නිකුත් කළ මූල්‍ය ප්‍රතිපත්ති විවරණයට අනුව මේ වසර ආරම්භයේ සිට එදින දක්වා රුපියල සියයට 1.7කින් අවප්‍රමාණය වී තිබේ. පසුගිය වසරේදි රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණ බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවල සඳහන් වෙයි. මේ වසරේ මුල් මාස තුනේදි ශ්‍රී ලංකා මහ බැංකුව සංචිත ගොඩනැගීමට සහ ණය ගෙවීම සඳහා ඩොලර් මිලියන 400 (රුපියල් මිලියන 62,000ක්) ජාත්‍යන්තර වෙළදපොළෙන් මිලදී ගෙන ඇති බවට පසුගිය සතියේ වාර්තා පළවිණි. මේ වසරේදී පමණක් ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය මුදල රුපියල් ට්‍රිලියන 1.97කි.