ජාතිවාදී ගැටුම පසුපස
කූඹියෝ ජෙහාන් වගේ සිටින්නේ

‘කොළඹ උස හීන්දෑරියා‘ යයි විමල්ගේ උපහැරණය


මේ දිනවල මහනුවර ඇතිව තිබෙන ජාතිවාදී ගැටලුව මේ වනවිට එක් එක් දේශපාලකයින් තමන්ට වාසියට හරවා ගන්නා අවස්ථාවක් බවටද පත්කරගෙන තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කළේ ‘ගේම්කාරයකු‘ මෙම සිද්ධි පිටුපස සිටින බවයි.
ඔහු ව්‍යංගාර්ථයෙන් ඒ බව කියා සිටියේ හීන්දෑරි ජාතික ඇඳුම අඳින කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පැමිණි පුද්ගලයකු මෙම ගැටුම සැලසුම් කරන බවයි.
එම ගේම්කාරයා ඔහු සමාන කළේ ස්වාධීන රූපවාහිනි සේවයේ විකාශය වන "කූඹියෝ" ටෙලි නාට්‍යයේ ජෙහාන් ප්‍රනාන්දුටය.
"මෙවැනි සිද්ධියක් සිදුවෙයි කියලා දිලුම් අමුණුගම මන්ත්‍රිවරයා නියෝජ්‍ය පොලිස්පතිතුමාට දැනුම් දුන්නා. නමුත් එයට යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. තත්ත්වය පාලනය කරලා තියෙන්නේ කියලා
නියෝජ්‍ය පොලිස්පතිවරයා කියලා තියෙනවා.


මේක සංවිධානාත්මකව ක්‍රියා කරලා තියෙන්නේ. කූඹියෝ ටෙලි නාට්‍යයේ චරිතයක් තියෙනවා ජෙහාන් කියලා. මේ ජෙහාන් කරන්නේ ගේම් ගහන එක. ජෙහාන් වගේ ගේම්කාරයෙක් තමයි මේ පිටුපස ඉන්නේ. ඒ කියන්නේ හීන්දෑරි ජාතික ඇඳුම අඳින කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පැමිණි පුද්ගලයකු තමයි මෙම ගැටුම් සඳහා පළමු ගිනිකූර පත්තු කළේ. මේ ජෙහාන් කවුද?"

විමල් කියූ මෙම කාරණාව ගැන ඊයේ කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී විමසන ලදුව ඇමති රාජිත කියා සිටියේ මේ ගැන කරන පරීක්ෂණයට ඒ පුද්ගලයා ගැන විමල්ට සාක්ෂි ලබාදිය හැකි බවයි.

 අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ (07) මේ චෝදනාව ගැන මාධ්‍ය සාකච්ඡාවකදී විමසන ලදුව ඔහු කියා සිටියේ විමල්ගේ කතා වලට උත්තර දීම පලක් නොවන කාරණාවක් බවයි.