රාජාංගණය ජලාශයේ ජලය භාවිත කරමින්, චීන සමාගමක මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක කිරීමට යෝජිත පානීය ජල වනපෘතිය තාවකාලිකව අහිටුවීමට උපදෙස් දුන් බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක මහතා ඊයේ පැවසීය.

යෝජිත පානීය ජල ව්‍යාප්තිය නිසා සිය ගොවිබිමිවලට ජලය හිඟවන බව පවසමින් ගොවී
ගෙවිලියෝ 3000කට අධික පිරිසක් තඹුත්තේගම නගරයේදී පෙරේදා (28) දැවැන්ත විරෝධතාවක නිරත වූහ.

එහි දී පොලිසිය ගොවීන්ට ජල සහ කඳුළුගස් ප්‍රහාරයක් එල්ල කළ අතර කලහකාරි ලෙස හැසිරුණු ගෙවිලියන් පස් දෙනකු ඇතුළු 59 දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලදී අත්අඩංගුවට ගත් පිරිස තඹුත්ගම මහෙස්ත්‍රාත් අධිකරණයට පෙර්දා (28) ඉදිරිපත් කිරීමෙන් පසු 50 දෙනකු මේම 05 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තඹුත්තේගම වැඩබලන මහෙස්ත්‍රාත් පුෂ්පානි වික්‍රමසිංහ මහත්මිය නියෝග කළාය.

සැකකරුවන් 59 දෙනා අතරින් සානුකම්පිත හේතූන් මත ඉන් නවදෙනකු රූපියල් ලක්ෂය බැගින් වූ බැඳුම්කර මත මුදාහැමට විනිසුරුවරීය නියෝග කළාය. අධිකරණ නියෝග නොතකා විරෝධතාවේ නිරත වෙමින් මහජනතාව පීඩාවට පත්කිරීම, රජයේ නිලධාරියකු වන පොලිස් නිලධාරීන්ගේ රාජකාට බාධා කිරීම. රජයේ දේපළවලට බරපතළ අලාභ සිදුකිරීම, පෞද්ගලික දේපළ වලට හානි සිදුකිරිම , විරෝධතා මැඩලීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට ගල්වලින් පහරදී තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා අටක් සම්බන්ධයෙන් සැකකරුවන් හා සැකකාරියන් 59 දෙනා වැඩබලන මහෙස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කෙරුණි.



සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ තඹුත්තේගම මුලස්ථාන පොලිසිය අධිකරණයට කියා සිටීයේ මහජන පීඩාවක් ඇතිවන අන්දමින් විරෝධතාවේ නොයෙදෙන ලෙසට තඹුත්ගම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙද්දී සැකකරුවන් අධිකරණය හැල්ලුවට ලක් කරමින් කලහකාරීව හැසිරෙමින් විරෝධතාවේ නිරත වු බවයි.

දැවැන්ත විරෝධය හේතුවෙන් පාදෙණිය. අනුරාධපුර ප්‍රධාන මාර්ගය භාවිත කළ පීරීස් දැඩි පීඩාවට පත් වූ බවත් විරෝධතාව මැඩපැවැත්වීමට යාමේදී ඔවුන්    පොලීසියට ප්‍රතිවිරෝධය පාමින් පහරදුන් බවත් පොලීසිය අධිකරණයට කියා සිටියේය. එහි දී පොලිස් දෙපාර්තමේන්තුවට අයත් රජයේ දේපළක් වන පොලිස් අධිපීඩන ජල ප්‍රහාරක රථයට, තඹුත්තේග්ගම මූලස්ථාන පොලිසියේ කේන්ද්‍ර කිහිපයකට අලාභ හානි සිදු වූවා මෙන්ම පොලිස් නිලධාරීන් සිව් දෙනකුට තුවාල ද සිදු වූ බව පොලීසිය අධිකරණයට දැන්වීය.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන සිදු කරන බවත් එතෙක් සියලු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් අයැද සිටීයේය,
මේ අතර මෙම ගොවි උද්ඝෝෂණයට නායකත්වය ලබාදුන් ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් හා රාජාංගණය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති නිහාල් වන්නිආරච්චි මහතා රාජාංගණය පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (01) පස්වරු 3.00ට පමණ අත්අඩංගුවට ගෙන ඇත.


තඹුත්තේම නගරයේදී උණුසුම්කාරී තත්වය උද්ගත වූ අවස්ථාවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපතිවරයා එම ස්ථානයේ රැදී නොසිටි අතර ගොවී නියෝජිතයින් පිරිසක් සමග අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්, වන්නිනායක මහතා සමග සාකච්ඡාවක් කිරීමට ගොස් සිටි බව පැවසේ. අත්අඩංගුවට ගත් ගොවි සභාපතිවරයා අධිකරණයට අද (02) ඉදිපත් කිරීමට නියමිත බව රාජාංගනය පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පො.ප. ආර්.එම්. බස්නායක මහතා පැවසීය.

ගොවි උද්ඝෝෂණයේදී තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනකු සහ පොලිස් අත්අඩංගුවට ගත් එක් අයකු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ තඹුත්ගම රෝහලේ ඊයේ (01) දිනය වන විටත් ප්‍රතිකාර ලබමින් සිටියේය. මෙම උද්ඝෝෂණියේදී සිවිල් වැසියන් පස් දෙනකු තුවාල ලබා ඇති බව වාර්තා වේ