• අද කටුගස්තොට කඩ ගිනි තිබ්බා
  • අඹතැන්නේ අත් බෝම්බයක් පුපුරා ගියා
  • පූජ්‍ය පක්ෂයට සිදුවූ හානි ගැන කතා බොරු
  • මහනුවර ත්‍රිවිධ හමුදාව හා පොලිසිය මෙහෙයවීමට
    මේජර් ජෙනරල් රුක්මන් ඩයස් පත් කළා
- අගමැති රනිල්ගේ විශේෂ ප්‍රකාශය


මේ වනවිට මහනුවර පවතින සත්‍ය තත්වය හා ආරක්ෂක විධිවිධාන ගැන නීතිය හා සාමය ඇමති අග්‍රාමාත්‍ය රනිල්
වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ. එය සම්පූර්ණයෙන් මෙසේය..

“මා අද දින මේ ප්‍රකාශය සිදු කරනු ලබන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ මේ වන විට ඇති වී තිබෙන
තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමටයි. තෙල්දෙණිය ප්‍රදේශයේ රියදුරෙකුට
පහර දී, ඔහු මරණයට
පත්වීමෙන් පසුව මහනුවර දිස්ත්‍රික්කයේ සමහර ස්ථාන වල සිදු වූ ප්‍රචණ්ඩකාරී හා කඩාකප්පල්කාරී
ක්‍රියා පිළිබඳවත්, හදිසි නීතිය පැනවීම පිළිබඳවත් මා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු
කළා.  මේ වන විට රටපුරා හදිසි නීතිය පනවා තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික්කයට පනවා තිබූ පොලිස්
ඇඳිරි නීතිය අද උදෑසන 6.00 ට ඉවත් කළා.

අද දින, කටුගස්තොට හා අවට ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන කිහිපයකට ගිනි තැබීම් සිදු වී
තිබෙනවා. දැනට වාර්තා වී ඇති අන්දමට අඹතැන්න ප්‍රදේශයේ දී කලහකාරී ලෙස හැසිරුණු පිරිස් අත
තිබූ අත් බෝම්බයක් පුපුරා ගොස් තිබෙනවා. මේ පිළිබඳව පොලිසිය විමර්ශන සිදු කරනවා. මහනුවර
දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවල නීතිය හා සාමය ක්‍රියාත්මක වෙනවා.

පවතින තත්ත්වය සළකා බලා හදිසි නීතිය යටතේ නැවතත් අද දින සවස 4.00 සිට මහනුවර දිස්ත්‍රික්කයට
ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කර තිබෙනවා.

පූජ්‍ය පක්ෂයට අනතුරු සිදු වී ඇති බවට විවිධ කටකතා පතුරුවන නමුත් එබඳු කිසිඳු සිදුවීමක් සිදු වී
නොමැති බව මම ප්‍රකාශ කරනවා.

එසේම, මහනුවර දිස්ත්‍රික්කය පුරාම ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බලකාය හා පොලිසිය මේ වන
විට යොදවා තිබෙනවා. ත්‍රිවිධ හමුදා ආරක්ෂක කටයුතු හා පොලිස් කටයුතු සම්බන්ධීකරණය සඳහා මධ්‍යම
ප්‍රදේශයේ ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රුක්මන් ඩයස් මහතා පත් කොට තිබෙනවා. ඕනෑම
ආකාරයක නොසන්සුන් තත්ත්වයක් පාලනය කිරීමට සුදානමින් සිටින ලෙස ඔවුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

වැඩිපුර හමුදා භට පිරිස් මෙම ප්‍රදේශවලට පිටත් කොට තිබෙනවා.

ඒ වගේම, මහජනතාව නොමග යවන, වෛරය පතුරවන හා ජනතාව කුපිත කරවන සුළු අසත්‍ය ප්‍රචාර
මැඩ පැවැත්වීම සඳහා සමාජ මාධ්‍ය ජාලා තාවකාලිකව අවහිර කොට තිබෙනවා.


මහනුවර දිස්ත්‍රික්කය තුළ ඇඳිරි නීතිය පනවා ඇති බැවින් හා රටපුරා හදිසි නීතිය ද ක්‍රියාත්මක වන
බැවින් සාමකාමීව කටයුතු කරන ලෙස මා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒවගේම, ඔබේ ප්‍රදේශ වල
නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා උපරිම සහයෝගය ලබා දෙන ලෙස සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

රටේ අනෙකුත් ප්‍රදේශවල තත්වය සාමකාමී බව කියන්නට කැමතියි. බොරු ප්‍රචාර වලට නොරැවටී
වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස මා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙවැනි ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල මෙන්ම කොල්ල කෑම් ආදී නීති විරෝධී ක්‍රියාවන්වල නිරත වන
පුද්ගලයින්ට හා කණ්ඩායම්වලට එරහිව නීතිය තදින් ක්‍රියාත්මක  කිරීමට රජය සෑම පියවරක්ම ගනු ලබන
බව කියා සිටීමට කැමතියි.

මේ නිසා මා අවසන් වශයෙන් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව ඇතුළු සියලුම ජන කොටස් වලින් ඉල්ලා
සිටින්නේ මේ උණුසුම්කාරී තත්ත්වය පාලනය කොට සුරක්ෂිත වටපිටාවක් තහවුරු කිරීම සඳහා ඔබගේ උපරිම සහාය ලබා දෙන ලෙසයි.
    
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍ය