ඩුබායිහි රැඳී සිටිමින් මෙරට පාතාලය සහ මත්කුඩු ජාවාරම මෙහෙයවන මාකඳුරේ මධුෂ්
ස්විත්සර්ලන්තයේ දේශපාලන රැකවරණය ලබා ගැනීමට උත්සාහයක නිරත වෙමින් සිටින බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබේ.

ස්විට්සරලන්තයේ දේශපාලන රැකවරණය ලබාගැනීමට ඔහු මෙයට මාසයකට පෙර සිට අවශ්‍ය ම ලියකියවිලි පවා සකස් කර අදාළ ස්ථානවලාට යොමුකර ඇතැයි බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරුවල සඳහන්ය. සිය සහෝදරයාව අබිරහස් ලෙස ඝාතනය කිරීමත් සමග තමුන් ද ඝාතනය කිරීමට

පොලීසිය උත්සාහ ගත් බැවින් ශ්‍රී ලංකාවෙන් පැනගත් බව මාකඳුරේ. මධුෂ් සදහන් කර ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කරයි.

ශ්‍රී ලංකාව තුළ මේ වන විට සිදුවන ඝාතන සහ අපරාධවලට තමාගේ කිසිදු සම්බන්ධයක් නැති බවත් එය පොලිසිය විසින් ගොතන ඒවා බවත් ඔහු සඳහන් කර ඇති බවද්‍ය බව එම ආරංචිවල සඳහන්ය. මේ වන විට මාකඳුරේ මධුෂ්ට එරෙහිව ඇත්තේ ජාත්‍යන්තර පොලිසිය නිකුත් කළ නිල් නියෝගයක් පමණක් බව පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා සඳහන් කළේය.

 ඔහුට එරෙහිව රතු නිවේදනයක් ලබා ගැනීමට මේ වන විට පියවර ගනිමින් සිටින බව ද ඔහු කීවේය.මධුෂ්ට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය විසින් නිල් නිවේදනයක් නිකුත් කර තිබියදී ඔහු රුසියාවේ සසුගියදා ලෝක තරුණ සමුළුව පැවැති වකවානුවේදී පවා එරට සංචාරයක නිරතව සිටියේය. මේ වන විට ඔහු යුරෝපයේ රටවල් රැසක නිදහසේ සංචාරයේ නිරතව සිටින බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබේ.

කොස් මල්ලී නමැති පාතාලයේ සාමාජිකයා ඝාතනය කරන විට මාකඳුරේ මධුෂ් ඩුබායිහි රැදී සිටියේ දැයි සැකයක් ද පවතින බව උසස් පොලිස් නිලධාරීයෙක් කීය. ඒ වන විට ඔහු ඉතාලියේ සිටි බවට තොරතුරු ඇතැයි ද එම නිලාධාරීයා සඳහන් කළේය. ඩුබායි සිට මධුෂ් ඉතාලියේ සංචාරයකට ඒ දිනවල යන විට ඔහු සමග සිටි අංගොඩ ලොක්කා ඉන්දියාවේ මදුරාසියේ සිට ඇතැයි හෙළි වී ඇත.

කොස් මල්ලී ඝාතනය කිරීමට පෙර "ලොකු අයියා" නමැත්තාගේ ජංගම දුරකථනයට ලද ඇමතුම් ඔස්සේ ඒ බව පෙනීයන බව එම නිලධාරීයා පැවසීය.