මහනුවර සහ තෙල්දෙණිය ප්‍රදේශයේ සිදුවූ සිදුවීම්වලට සම්බන්ධ ඒ ප්‍රදේශ වලට පිටින් පැමිණි පිරිස් පිළිබඳ පොලිසිය දැන සිටියත් ඔවුන් පිළිබඳ පොලිසිය කටයුතු නොකළ නිසා මෙම ව්‍යසනය ඇති වූ බව අමාත්‍ය
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය. මහනුවර දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (06දා) පැවැති ආරක්ෂක කමිටු රැස්වීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ද කීය.


''මහනුවර, දිගන, තෙල්දෙණිය ප්‍රදේශයේදී සිදුවූ සිද්ධීන් ඇති කළේ මහනුවර ජීවත් වන අය නොවෙයි. ඒ සිද්ධීන් ඇති වූවාට පසුව බොහෝ පිරිස් සමථයකට පත්ව තිබුණා. නමුත් පිටින් පැමිණි පිරීස් මේ විනාශය සිදු කළා. පිටින් මහනුවරට පැමිණි පිරිස් පිළිබඳ පොලිසිය දැනුවත්ව සිටියා. පොලිසිය ඒ පිරිස ගැන අවධානය යොමු නොකළ නිසා තමයි මේ කලබලය ඇති වුණේ. මේ ප්‍රශ්නය දුරදිග ගියේ ඒ නිසයි.''
                        '' මම අද පැවැති සාකච්ඡාවේදී පොලිසියෙන් විමසා සිටියා මේ පැමිණි පිරිස ගැන දැනගෙන සිටියා ද කියලා. පොලිසිය ඔව් කීවා. ඉතින් මේ පිටින් පැමිණි පිරිස ගැන පොලිසිය අවධානයෙන් සිටියා නම් මෙවැනි දේ සිදුවන්නේ නැහැ, මහනුවර ජනතාව සියලු ජාතීන් සමඟ රජ කල සිට සහජීවනයෙන් සිටි පිරිසක්. මෙම අවස්ථාවේ පොලිස් බුද්ධි අංශ වල කඩා වැටීමක් තිඛෙන බව පේනවා. ඒ නිසා මම මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා පිටින් එන පිරිස් පිළිබඳ වහාම ආරක්ෂක අංශවලට දැනුම් දෙන්න. මගේ ළඟ සී.ඩී. එකක් තිබෙනවා ඒකේ තියෙනවා පිටින් පැමිණි පිරිස් නුවර අයට තර්ජනය කරනවා නිකම් ඉන්න එපා කියලා. බුද්ධි අංශ මේ ගැන නිසි පියවරක් ගත්තා නම් මෙහෙම වෙන්නේ නැහැ, පොලිසිය මේ ගැන ක්‍රියා කළා නම් මෙහෙම වෙන්නේ නැහැ. මේ පිටින් ආපු අය පසුගියදා මඩකළපුව ප්‍රදේශයේ කලබල ඇති කළ අයයි. ඒ ගැන පොලිසිය අවධානයෙන් සිටියා නම් මෙහෙම වෙන්නේ නැහැ.''