කරුවලගස්වැව රජවිගම ප්‍රදේශයේ නිවෙසක දැරියක් මල්පත්තියක් සකස් කිරිමට නිවෙස ඉදිරිපිට බිම කොටද්දී හමුවූ පැරණි බුද්ධ ප්‍රතිමාවක් කරුවලගස්වැව පොලිසියට බාරදී ඇති අතර එය රනින් නිමකළ එකක්දැයි සොයාබැලීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බාරදෙන බව කරුවලගස්වැව පොලිසිය කියයි.

පස් අතර තිබී පසුගිය 27 වැනිදා හමුවී ඇති මෙම බුදුපිළිමය සෝදා පිරිසිදු කොට නිවෙසේ තබා මල් පහන් පූජාකර ඇති අතර නිවසට පැමිණි වැඩිහිටියකු මෙම සමාධි බුද්ධ ප්‍රතිමාව ඉතා වටිනා එකකැයි පැවසීමෙන් පසුව නිවැසියන් මේ පිළිබඳ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා දැනුවත්කර බුද්ධ ප්‍රතිමාව කරුවලගස්වැව පොලිසියට බාරදී ඇත.
අඟල් පහකට ආසන්න උසකින් යුත් මෙම බුද්ධ ප්‍රතිමාව ග්‍රෑම් 600ක බරකින් යුකිතය. මෙය අනුරාධපුර යුගයට අයත් දඹ රනින් නිමවූ ප්‍රතිමාවක් බවට සැක කෙරේ. මෙම බුද්ධ ප්‍රතිමාව හමුවීම පිළිබඳ අදහස් දැක්වූ රාගම විද්‍යාලයේ

7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන තරුෂි නවෝද්‍යා දැරිය මෙසේ කීවාය.
"කැවුම් මල් සිටුවන්න මල් පාත්තියක් සාදන්න උදැල්ලෙන් බිම කොටද්දි එක පාරට පස් අතරින් බුදුපිළිමය මතුවුණේ. මම දුවලා ගිහින් අම්මාට කීවාම අම්මා අහල පහළ අයටත් එන්න කියලා පෙන්නුවා පස්සේ අපි බුදු පිළිමය හොඳට හෝදලා මල් පහන් පූඡා කළා

දැරියගේ මව වන නිලන්ති අබේසිංහ මහත්මිය මෙසේ කීවාය.

"දුවට තමයි බුදු පිළිමය හමුවුණේ අපි එය අසල්වැසියන්ට පෙන්නුවා. පස්සේ හොඳට සෝදා පිරිසිදුකර මල් පහන් පූජා කළා පස්සේ ටිකිරි බංඩා මාමා කියුවා දුවේ මේ පිළිමය හුගාක් වටින එකක් ග්‍රාම සේවක මහත්තයාට කියලා පොලිසියට දෙමු කියලා. මම කිව්වා ඒක හොඳයි කියලා තමා පොලිසියට දුන්නේ. මගේ දුවලා දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් සාමාන්‍ය පෙළ ඉහළින් පාස් වුණත් රස්සාවක් නැහැ දැන් ගාමන්ට් යනවා. පොඩි දුව තමා තරුෂී මේ දරුවගේ තාත්තා දාලා ගිහින් හුඟාක් කල් හවසට ආප්ප ටිකක් දාලා තමයි කීයක් හරි හොයා ගන්නේ වෙන කරන්න දෙයක් නැති නිසා යැයි ඇය සඳහන් කළාය.
බුද්ධ ප්‍රතිමාව මේ ව න වි ට කරවලගස්වැව පොලිසිය භාරයේ ඇති අතර අද (05) පුත්තලම දිසාඅධිකරණයට කරුණු වාර්තනා කිරිමෙන් පසුව පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට භාර දිමට අවශ්‍ය කටයුතු කරන බව කරුවලගස්වැව පොලිසිය පවසයි.